“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!

මාස ගණනාවක් පුරා “කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන් කළ නොහැකි බවත් ඒ සමඟම නිරෝධායන කටයුතු, රෝගීන් හඳුනා ගැනීම, ඔවුන් හුදකලා කිරීම, ඔවුන්ට ප්‍රතිකාර කිරීම වැනි කටයුතු සියල්ල එකට කළහොත් පමණක් මේ වසංගතයට මුහුණ දිය හැකි බව ඔහු පවසයි.

අප සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා 10 ක ඉදිරිපත් කර ඇති අතර එහි පැහැදිලිවම සඳහන් කර ඇත්තේ සති 04 -06 ත් කාලය තුල මේ වසංගතය පාලනය කිරීමේ හැකියාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) දින දින 45 කින් Covid  අවසන් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් සකස් කරන ලද යෝජනා 10 කින් යුත් වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙය භාර දීම සඳහා සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරළේආරච්චි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර,සමස්ත ලංකා සුවසේවා සංගමයේ භාණ්ඩාගාරික රුවන් එස් හෙට්ටි ආරච්චි යන අය එක් වී තිබුණි.

-ශානි-

Social Sharing
නවතම