ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය

අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල සිටින බැවින් එම දොස්තර ලාංඡනය වෙනත් පුද්ගලයන් සාවධ්‍ය ලෙස පාවිච්චි කරන බවයි.

ජනාධිපතිතුමා කතා කලොත් එතුමාගේ නොදැනුවත්කම පෙන්වයි. එක්කෝ එතුමාගේ උපදේශකයන් එතුමාට නිවැරදි නොවන උපදෙස් ලබා දෙන්නන්‍. එහෙම නැත්නම් ඇතැම් අවස්ථා වල එතුමාගේ උද්දච්ච කම පෙන්වයි. එයනම් එතුමාගේම ප්‍ර්ශ්නයකි.

ජනාධිපතිතුමා නොදන්නා දේ හෝ එතුමාට පඩි ලබන හෝ නොලබන උපදේශකයන් කියා නොදෙන දේ කියා දීම පුරවැසි අපේ වගකීමය.

ජනාධිපතිතුමා දැන ගත යුත්තේ එතුමා කියන ලාංඡනය දොස්තරලා පමණක් නොව සියළු සෞඛ්‍ය සේවකයන් විසින් විවිධ ආකාරයෙන් ඔවුන්ගේ වාහන වල අලවයි. පොලීසියත් එය හොදින්ම දනී. සෞඛ්‍යය යනු දොස්තරලා වගේ පෙනෙන සමාජයක එතුමාටත් එය එසේම දැනීම පුදුමයක් නොවන්නේ එතුමා බොහෝ දේ නොදන්නා බව මේ වන විට පෙන්වා ඇති නිසාය. එතුමාට ඒ වගේම ඊයේ දිනයේදී වෛද්‍යවරුන්ගේ ඥාතීන් ට සුවිශේෂී වරප්‍රසාදයක් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහනක් පැවැත්වූ බව එතුමා නොදන්නා බව පෙනේ. ඒ අය එන්නේත් වාහන වලිනි. එම නිසා ඊයේ දිනයේදී දොස්තර ලාංචන ඇලවූ වාහන තිබීම ස්වභාවිකය. කොහොමත් ලංකාවේ මාර්ගයක යන විට ඔය ලාංඡනය ඇලවූ වාහන ඕනෑ තරම් දැකිය හැක. එතුමා කියන තරමින් මේ ලාංඡන හොරාට ගසාගෙන යාමට හැකියාවක් මහජනතාවට නැති බව ඒ වෘත්තීන් වල අය දනී. ජනාධිපතිතුමා නොදනි.

කොයි හැටි වෙතත් අවසානයේ ජනාධිපතිතුමා එතුමා දුටු ඒ දර්ශනය අනුව සංචරණ සීමා ලිහිල් කරන දවසේ තීරණයක් ගෙන තිබේ. ඒ ජනතාවට තමන්ගේ වාහනය නිවසේ තබා කඩයට ගොස් බඩු මිලදී ගත යුතුය යන්නයි. බයිසිකලයකින් යතුරු පැදියකින් හෝ ගමන් කිරීම තහනම්‍.

මෙය නම් එතුමාට ඡන්දය ලබා දුන් සුවහසක් මධ්‍යම පන්තියට ගැසූ නියම කණේ පහරකි. පර්යේෂන පදනම් කරගෙන, නවීන තාක්ෂණය පදනම් කරගෙන තීරණ ගන්නවා යැයි කියූ ජනාධිපතිතුමා තීරණ ගන්නේ එතුමා වාහනේ යන විට දකින දේ අනුවය. ඇඹුල්දෙණියේ සිට ජනාධිපති කාර්‍යාලයට එන විට දකින දේ අනුව තීරණ ගන්නා ජනාධිපතිවරයකු අපට සිටීම කොතරම් භාග්‍යයක්ද.

දින 4 ක් තිස්සේ කිසිදු ආදායමක් නොමැතිව සිටි අද දිනයේ කීයක් හෝ හොයා ගැනීමට බලා සිටි ජනාධිපතිතුමාගේ සුවිශේෂී ඡන්ද දායකයන් පිරිසක් වූ ත්‍රී රෝද රථ හිමිකරුවන්ටද මෙම තීරණය හොදටම බලපානු ඇත. ත්‍රීරෝද රථ හිමිකරුවන්ට මහින්ද කහදගමගේගෙ පිහිටය. ලීසිං සහනයත් ඔවුන්ට අපූරුවට ලැබී ඇත.

ජනධිපතිතුමාගේ ඇස දුටු විස්තරය මත ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ජනතාව අවංකව දුර වැඩිකම නිසා වාහනයකින් ගියහොත් පොලීසිය ඒවාට නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. ජනාධිපතිතුමාගේ තීරණ වල තරම එතුමාම පෙන්නුම් කලේය.

ජනාධිපතිතුමා සාකච්ඡා කර තීරණ ගන්නවා වෙනුවට තමන් හා තමන්ගේ එහෙයියන් වූ නිලධාරීන් සමග පමණක් කතා කොට ගන්නා තීරණ කිසිදු පදනමක් නොමැති ඒවා බව ජොන්ස්ටන් ඇමතිවරයාගේ පිළිතුරෙන් පෙන්වයි.

ජනාධිපතිතුමා කෙටි කාලයක් තුළ තමන්ම ප්‍රකාශයට පත් කල ගැසට් වැඩිම ප්‍රමාණයක් ආපසු හැරවූ ජනාධිපති වරයා ලෙස ඉතිහාසගත වී ඇත. එතුමා හා එතුමාගේ අතිශය හිතවත් මිලිටරියේ නිලධාරීන් ලබා දුන් ලොකු ටෝක් නිකම්ම පුස්සක් වී ඇත. දේශීය නිෂ්පාදන ඉහළ.නැංවීමට කියා සිදු කල ආනයන සීමාව තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන් සැනසීමට සිදු කල දෙයක් බව එළිදරව් වී ඇත. සීනි හා පොල් තෙල් ආනයනය පමණක් අසීමාන්තිකව වැඩි වී ඇත.

අද උදෑසන බලන විට ජනාධිපතිතුමාගේ තීරණය තඹේකට මායිම් නොකරමින් වාහන පාරේ ගමන් කරයි. ආණ්ඩුවේ නිවේදනයේ දැක්වුනේ යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව ඩ්‍රෝන යාන යොදා ගනිමින් නීති කඩන්නන් සොයන බවයි. ආණ්ඩුවේ ඩ්‍රෝන යානාවට මහජනතාව බිය නොවන බව අද පාරෙ ගමන් කරන වාහන පෙන්වයි.

ජනාධිපතිතුමා තවදුරටත් හෑල්ලුවට ලක් නොවී එක්කෝ තමන්ව නොමග යවන්නේ නැති උපදේශකයන් පිරිසක් පත් කරගත යුතුය.නැතිනම් බොරු ශෝ එකකට ඇඹුල්දෙණියේ ඉන්නේ නැතුව ජනාධිපති මන්දිරයට පැමිණ වාසය කිරීම ආරම්භ කල යුතුය. එවිට එතුමා විනාඩියෙන් දෙකෙන් කාර්‍යාලයෙය. එතුමාට ඔය එක එක විකාර නොපෙනෙනු ඇත.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම