සෞභාග්‍ය රටේ දරුවන්ගේ ඔන්ලයින් කෙරුවාවට විඳින දුකක්!

Issues in online education current covid situation sri lanka

පසුගිය සතියේ සිකුරාදා දින නැවත සංචරණ සීමා පැනවීමට යන බවදැන ගත් ඈත දුෂ්කර ගම්වල අහිංසක මිනිසුන් නගරවල ජංගම දුරකථන අලෙවි සැල් දුරකථන සමාගම් ශාකා පමණක් නොව අන්තර් ජාල සේවා සපයන ස්ථාන කරා ඇදී ආවේ සිය දරුවන්ගේ අධ්‍යාපනය දැන් සිදුවන්නේ මාර්ග ගත (online) ක්‍රමයට ම බැවින් ඉන් තම දරුවන් ගිලිහෙනු ඇතැයි යන බියෙනි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවන මිනිසුන් ට මෙවර සිදු වූයේ තමන් මෙතෙක් අත් නොවිදි අත්දැකීම්වලට ය. කිසි දිනක ස්මාර්ට් ජංගම දුරකථනයක් හසුරුවා නැති අහිංසක ගැමියන් අන්තර් ජාල සේවා සපයන ආයතන වෙත රවුටර් මිලදී ගැනීමට පැමිණ ඒවා ක්‍රියා කරන ආකාරය ගැන පැය ගණන් විමසනු දැකිය හැකි විය. ඇතැමෙක් සිග්නල් නැතැයි කියමින් මිලට ගත් රවුටර් ආපසු භාර දීමටත් කුමක් හෝ ක්‍රමයකින් ඇන්ටෙනා සවිකර හෝ සිග්නල් ලබා දෙන ලෙස සේවකයින්ගෙන් ඉල්ලනු ද දැකිය හැකි විය. එහෙත් දැන් පාලකයින් සිතා සිටින්නේ මේ රටේ ලක්ෂ 42ක් වූ දූ දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට අනුගත වෙලා කියා ය. සත්‍යය එය නොවේ. මේ ඒ ගැන ලියවුණ සටහනකි.

“අනේ මහත්තයෝ අපේ ළමයින් ට ඔන්ලයින් පංති එන්න බෑ.ඒකට පෝන් එකක් නෑ. අල්ලපු ගෙදර ලමයි එක්ක තමයි ඔන්ලයින් පංතියට ආවේ. ඒත් එයාල කැමති නෑ මගේ ළමයි එයාලගෙ පෝන් එකෙන් ඔන්ලයින් පංතියට එනවට. බැරිද මගේ ළමයින්ටත් වෙන ක්‍රමේකට උගන්වන්න”.

එක්තරා විදුහල්පතිවරයෙකු මාර්ගගත අධ්‍යාපනය ගැන තමන් මුහුණ දී ඇති තත්ත්වය විස්තර කළේ තමන් ළඟට පැමිණ දුග්ගැනවිලි කිව් මවකගේ කතාවක් ද ඉදිරිපත් කරමිණි. දැන් ඉගෙනීම, භාණ්ඩ හා සේවා වෙළඳාම, රූප ලාවන්‍යය, අවවාද අනුශාසනා ලබා දීම, නඩු ඇසීම, රෝග පරික්ෂාව, විනෝදාස්වාදය පමණක් නොව ලිංගික වෙළඳාම ඇතුළු කුදුමහත් ලෝකයම නවීන තාක්ෂණය හා මුසුවී සියල්ල ඔන්ලයින් වී තිබෙන කාල පරිච්ඡේදයක අප දිවි ගෙවමින් සිටිමු.

Issues in online education current covid situation sri lankaමෙම  සහශ්‍රයේ නූතන මානවයා නිර්මාණය වන්නේ ද විය යුත්තේ ද එවන් පරිසරාත්මක වාතාවරණයකට ඔරොත්තු දෙන ආකාරයෙනි. මෙය මුළු ලෝකයටම ආපසු හැරවීමට  බැරි අනුවර්ථනය නොවී සිටීමට නොහැකි තරමට ම අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. ලෝකය තම තමන්ගේ රටවල හැකියා අනුව වේගයෙන් ඊට අනුවර්ථනය වෙමින් හා අනුගත වෙමින් තිබේ. ශ්‍රී ලංකාවද එහි අභියෝග මැඩපවත්වා ගනිමින් ඉදිරියට යන බවක් පෙනෙන්නට තිබුණත් ඇත්තටම අපේ රටේ මාර්ගගත අධ්‍යාපනය කෙබඳු එකක් දැයි පැහැදිලි අවබෝධයක් තිබේද? රටක අනාගතය නැතිනම් අනාගත පරම්පරාව නිර්මාණය වන්නේත් නිර්මාණය කරන්නේත් එරට අධ්‍යාපනය ඔස්සේ ය. ඒ අනුව අනාගතයේ බිහිවන නව තාක්ෂනික මිනිසා නිර්මාණය කිරීමේ අභියෝගාත්මක පියවරයන්ට ලෝකය අවතීර්ණ වූයේ 21 වන සියවස එළිඅත්තට පිවිසෙන්නටත් පෙර සිටය. දැන් එහි දශක 2කටත් වැඩි කාලයක් ගතවී ගොසිනි. එහෙත් අපේ රට වැනි තුන්වැනි ලෝකයේ රටවලට එය තව තවත් දුරස්ව ඇති සැටියක් පෙනෙන්නට තිබෙන බවට සාක්ෂි සාධක ඕනෑ තරම්  ඉදිරිපත් කළ හැකි කාලවකවානුවක් අපි ගෙවමින් සිටිමු.

ලෝකය ම උඩු යටිකුරු කරමින් ලොව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් පවත්නා නව කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ අප ඉහතින් කී කුදුමහත් කාර්යයන් සියල්ල online වී තිබෙන්නේ සමාජ දුරස්ථ බව කියන සෞඛ්‍ය මාර්ගෝපදේශය හේතුවෙනි. එකිනෙකා මුහුණට මුහුණ හමුව අල්ලාප සල්ලාපයේ යෙදීම පමණක් නොව  අධ්‍යාපනය ලැබීම, බඩු භාණ්ඩ මිලදී ගැනීම, රෝග පරික්ෂාව, නඩු විමසීම ඇතුළු කුදුමහත් කාර්යයන් සියල්ලම දැන් තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමට සිදු කිරීමට බල කර තිබේ. විධිමත් පාසල යන සංකල්පය ද සුණුවිසුණු කරමින් “පාසල”නම් සංකල්පය මිය යමින් ඒ වෙනුවට “මාර්ගගත විවෘත පාසල”ප්‍රකට වෙමින් තිබේ. අපේ රට කොතෙක් ඊට සූදානම් ද? කොරෝනාවෙන් පාසලත් පංති කාමරයත් ගුරුවරයාත් ශිෂ්‍යයාත් දුරස්ථ කර තිබේ.මෙම දුරස්තබව තව තවත් පුලුල් වන්නේ ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල අහිංසක ගැමි දූ පුතුන්ට ය. ඔවුන් අධ්‍යාපනයෙන් පිටමං වෙමින් තිබෙන බවට කෙරෙන කරුණු කෙරෙහි වුවමනාවෙන් බැලිය යුතු ය. සැබෑවින් ම ග්‍රාමීය අහිංසක ගැමියාගේ පමණක් නොව නාගරික මධ්‍යම පාංතික සමාජයේ දෙමවුපියන් ද පාසල් සිසුන් ද මේ අභියෝගය හමුවේ පාසලින් ගිලිහෙමින් තිබේ.

” දැන් ගෙදරක ඉස්කෝලේ යන ළමයි 3ක් හිටියොත් ඒ අයට මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්නෙ කොහොමද? අම්මා තාත්තා වැඩට යනවා. වැඩ ඇරිලා එන්නේ හවස 5.00 ට 6.00 ට. ඒ ආවට පස්සේ අම්මාගෙ තාත්තගේ ස්මාර්ට් ෆෝන් අරගෙන ළමයි ඔන්ලයින් ඉගෙන ගන්න පටන් ගන්නවා. සමහර විට එක ස්මාර්ට් ෆෝන් එකයි තියෙන්නේ. ළමයි 3ක් ඉන්නකොට තුන්දෙනාටම එකට පාඩම් පටන් ගත්තොත් මොකද කරන්නේ. මම ඒ ගැටලුවට මුහුණ දෙමින් ඉන්නවා. එක ළමයෙකුට තමයි අවස්ථාව ලැබෙන්නේ. මෙහෙම බැලුවාම ඒකෙන් ඇති වැඩක් නෑ. “පහළ මධ්‍යම පාංතික පවුලක රාජ්‍ය සේවයේ නියුතු නම් සඳහන් නොකළ කාන්තාවක් තමන් මුහුණ දෙන ගැටලුවලින් එකක් ගෙනහැර පෑවාය. ඈය පවසන්නේ දෙමවුපියන් ළඟට වී නොසිටිය හොත් ළමයින් ද මේ ක්‍රමයෙන් පිට පැනීමට ඉතාම සූක්ෂම දේවල් කරන බව ය. සයිබර් තිරය ඉදීරියේ ඇතැම් විට දරුවාද ගුරුවරයාද අජීවි පිංතූරයකින් හෝ නමකින් හෝ පමණක් සැකසූ ප්‍රොෆයිලයකින් පෙනී සිටිති.

මවුවරුන් මුහුණ දෙන ඊළග ප්‍රශ්නය මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබන කාල වේලාව තුළ ළමයින් අසල ‍රැඳී සිටින්නට වීම නිසා රෑට ආහාර ඉවුම් පිහුම් කටයුතු  ද කර ගැනීම ට නොහැකිව ඇතැම් දිනවල දරුවන් නිරාහාරවම නින්දට යන බවයි. ඒ අනුව දරුවන් සැහෙන පිරිසක් රාත්‍රියට නිරාහාරවම නින්දට යනු ඇත. එවන් අධ්‍යාපනයකින් ඇති පලය කුමකට ද? දවල් කාලයේ දී මේ  අන්දමින් ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්නට දෙමවුපියන් නිවසේ නොමැති වීම නිසා අසමත් වෙති.

“අපි ඔන්ලයින් උගන්වන්නේ උදේ පාන්දර 5.00  ඉඳලා 7.00 පමණ වෙනකල්.උදෙන්ම දෙමවුපියන් ‍රැකියාවලට යන්න කලින් පාඩම් ටික කරනවා. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් අප හා පැවසුවා ය. පාසලක පැය 6ක් පමණ කාලයක් ලබන අධ්‍යාපනයත් ඔන්ලයින් ෆ්ලැට් ෆෝර්ම් එකක පැයක් දෙකක් ලබන අධ්‍යාපනයත් කෙතරම් පරතරයක් නිර්මාණය කරනු ඇත් ද?

Issues in online education current covid situation sri lanka“මේ ක්‍රමය හරියට උපකාරක පංතියක පැයක් දෙකක් ඉන්නවා වගේ. අපේ රටේ ලක්ෂ ගණනක් තියෙන උපකාරක පංතිවලින් අති බහුතරය ලෑලි බංකුවල වාඩි වී ගුරුවරයා කියන දෙය අසා සිටින ඇතැම් විට ගුරුවරයාවත් නොපෙනෙන ගිරාපෝතකයින් බිහි කරන සාම්ප්‍රදායික ගුරු කේන්ද්‍රීය ක්‍රමයක් වගේ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ගුරුවරයා නව තාක්ෂණය පිළිබඳ දක්වන අනියත බියත් එහි සාක්ෂරතාවක් නොමැතිකමත් කියන එක. දැන් පාසලක පංතිකාමරයක් තුළ ගුරුවරයා වෙනම සූදානම් වෙලා ඉගැන්වීම් කටයුතු කරන්නේ. ඊටම ආවේණික ක්‍රම ශිල්ප හා අධ්‍යාපන ක්‍රම විද්‍යාව අනුව. නමුත් දැන් මේ නූතන අභියෝගය හමුවේ ගුරුවරයාත් ගෙදර. තමන්ගේ කුඩා දරුවන් බලාගනිමින් ඉවුම් පිහුම් කරන ගමන්. ගෙදර දොරේ වැඩ කරන ගමන්,ශිෂ්‍යාත් එහෙමයි. ඔහු එක්කෝ මේ ඔන්ලයින් භාවිත කරන තාක්ෂණික උපාංගයට ඉදිරියෙන් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කර එය නරඹමින් නැතිනම් තමන් අතර ලැබුණු ජංගම දුරකථනය, ටැබ් යන්ත්‍රය, පරිඝනක යන්ත්‍රය සන්තකයට ලැබුණු නිසා විවිධ විනෝදජනක දේවල්, සමාජ මාධ්‍යවල කාලය ගත කිරීම වැනි දේවල් ගොඩක් සිද්ධ වෙනවා. දෙමවුපියන් සමහර විට ළමයා ඔන්ලයින් අධ්‍යාපනය ලබනවා කියලා හිතාගෙන ඉන්නවා. වෙන්නේ වෙන වැඩක්. මේක නියාමනය දුෂ්කරයි. ඒ වගේම ශිෂ්‍යාට පාසලේ මෙන් ඉගෙනුමට උචිත පරිසරයක් නෑ ගෙදර දී. ශිෂ්‍යයාට හුරු පුරුදු පරිසරය තිබෙන්නේ. පාසල හා අධ්‍යාපනය කියන සංකල්ප සියල්ලම මේ ක්‍රමය නිසා උඩු යටිකුරු වෙලා සුණු විසුණු වෙලා ගිහිල්ලා. අපි ගුරුවරුන් නිර්මාණය කරන්න අධ්‍යාපන මනෝ විද්‍යාව, අධ්‍යාපන සමාජ විද්‍යාව ඇතුළු වෘත්තීය විෂයයන් ඔස්සේ ශිෂ්‍යයා අවබෝධ කර ගන්න, ඒ ඒ වයසට ගැලපෙන සේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම ශිල්ප යොදා ගන්න, ඉගෙනුම් ආධාරක යොදා ගන්න කියලා දෙනවා. නමුත් ඒ සියල්ල සයිබර් තිරයක් ඉස්සරහ නැතිනම් අජීවි වස්තුවක් ඉස්සරහා දිගහැරියාම ශිෂ්‍යා දක්වන ප්‍රතිචාරයන් නිරීක්ෂණයටත් අපොහොසත් වෙලා තියෙනවා. ප්‍රධානම හේතුව තමයි මේ මාර්ගගත ඉගැන්වීම් ක්‍රම ගැන හා මාර්ගගත අධ්‍යාපනය  ගැන අපේ රටේ  ගුරුවරුන්ට නිසි සාක්ෂරතාවක් නෑ. දෙවැනි කාරණය අපේ ජන සමාජයටත් සිසුන්ටත් මේ ඩිජිටල් ලිටරසි එක(Digital Literacy ) එහෙම නැතිනම් නව තාක්ෂණය හැසිරවීමේ ප්‍රවීණතාව ලබා දී  නෑ. අපේ රටේ තරුණ ගුරුවරු ඒ වගේම උපකාරක පංති පවත්වන ගුරුවරු මෙය යම් තරමකට අල්ලාගෙන තිබෙනවා. ඒ වගේම පරිණත ගුරුවරු ඉක්මනින් අනුවර්ථනය වීම් සඳහා කැමති ගුරුවරු පිරිසක් මේ ක්‍රමයට හෙමින් අනුගත වෙමින් තිබෙනවා. හැබැයි ශිෂ්‍යයාගේ විවිධත්වය, පාරිසරික හා භූගෝලීය සාධක ගැන සැලකිල්ල කියන දේ ගුරුවරයාගෙන් ගිලිහෙමින් තිබෙන බව තමයි පේන්න තියෙන්නේ. පංතිකාමරයේ සිටින සිසුන් එකිනෙකාට වෙනස්. ඒ වගේම ඉගෙන ගන්නා විෂයයන් ඊටම ආවෙණික හා අනන්‍ය ක්‍රම විද්‍යාවන්ට අනුවයි ඉගැන්වීම් සිදු කරන්න ඕන. ඒකත් අභියෝගයට ලක් වෙලා.” යැයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා සංගමයේ විධායක සභික කථිකාචාර්ය එස්.එම්.පී.බණ්ඩාර මහතා කියන්නේ ය. ඇත්තටම සිද්ධ වෙන්න ඕන මේ වුවමනාවක් තියෙන ගුරුවරුන් හරහා මාර්ගගත ක්‍රමය පිළිබඳව   සැම ගුරුවරයෙකුටම කඩිනම් පුහුණුවක් ලබා දීමයි. ඒ විතරක් නෙමෙයි ඈත දුෂ්කර ගම්මානවල දරුවන් ට සංඥා නොමැතිකම සුහුරු,ජංගම දුරකථන හෝ මේ සඳහා ඇතුළත් විය හැකි උපාංග නොමැතිකම, ගුරුවරුන්ටත් සිසුන්ටත් දෙපාර්ශවයටම බලපා තිබෙන දෙයක්.කඩිනමින් මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි.නැතිනම් මාර්ගගත ක්‍රමය හැර වෙන විකල්ප සොයා බැලිය යුතුයි. එවැන්නක් සිදු නොවීම නම් බරපතල ඛේදවාචකයක් වෙන්න ඉඩ තියෙනවා. .එහෙම නොවුනොත් අපේ පාසල්වලින් දරුවන් ගිලිහීමේ අගය ඉතාම ඉහළ අගයක් ගන්න පුළුවන්.” හෙතෙම වැඩි දුරටත් කීය.

මේ පිළිබඳව ගුරුවරුන්ගේ හඬට ද වහාම ඇහුම්කන් දී කඩිනමින් පිළියම් යෙදිය යුතු ය.

“අපේ රටේ සියයට  70ක් තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශ. ඒ වගේම ඒ ප්‍රදේශවල එදා වේල හොයාගන්න දහ දුක් විදින දෙමව්පියන් ඉන්නේ. ස්මාර්ට් ජංගම දුරකථනයක් ගන්න වැය කරන්න පුළුවන් වත්කමක් නෑ. ඒ විතරක් නෙමෙයි මේ සඳහා වැය වන ඩේටාවලට වියදම් කරන්න හැකියාවක් නෑ. අද ඔප්පු වෙලා තියෙනවා පසුගිය වසරේ සිට කොරෝනා නිසා මේ මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපනය  ලබා දීමෙන් අපේ අධ්‍යාපන ප්‍රගතිය ආපස්සට ගමන් කරමින් තිබෙනවා කියලා. උතුරු මැද පළාතේ මෙවර අ.පො.ස.(උ.පෙ.) ප්‍රතිපල විශ්ලේෂණය කරලා බැලුවාම සමත් ප්‍රතිශතය සියයට 6කින් පහළ බැහැලා. පසුගිය වසර 5ක් අරගෙන බැලුවොත් ක්‍රමානුකූලව වර්ධනයක් තමයි පේන්න තිබුණේ. 2019 වසරේ එය සියයට 71ක් වුණත් මෙවර එය සියයට 65ක් දක්වා අඩු වෙලා. ඒකෙන් පේනවා මේ මාර්ගගත ක්‍රමය සාධනීය තැනක නෑ කියලා. ඒක විතරක් නෙමෙයි ආණ්ඩුව සතපහක පිරිවැයක් මේ වෙනුවෙන් යොදවා නෑ. ගුරුවරයාට මේ සඳහා අවශ්‍ය සුහුරු ජංගම දුරකථන ලබා ගන්න, රවුටර් ලබා ගන්න ඩේටා ලබා ගන්න කිසිම පහසුකමක් ලබා දීලා නෑ.ගෙදර ඉදන් උගන්වන්නලු. මේක ලොකු ම විහිලුවක්. මේක ගිහිල්ලා තියෙන්නේත් ටියුෂන් කරන අයගෙ අතට. ඒක නොවෙන්න ගුරුවරයාට අවශ්‍ය තාක්ෂණික දැනුම හා සහාය ලබා දෙන්න විශේෂයෙන් ම විවිධ සමාගම් පෝසත් කරන්නේ නැතුව රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරන් ඩේටාවලට යන වියදම අඩු කරන්න ඒ වගේම සෑම ගම්මානයක්ම ඒ ඒ සමාගම්වල ආවරණ කලාප කරන්න බල කරන එක කරන්න ඕන. සංඥා ලැබෙන්නේ නැතිනම් ඒ ප්‍රදේශවල සිසුන් ට විකල්ප ක්‍රම සඳහා ගුරුවරුන් සංවිධානය කර ගැනීම වැනි දේවල් කරන්න ඕන. උතුරු මැද පළාතේ සිසුන්ගෙන් සියයට 40ක පමණ පිරිසක් මෙම මාර්ග ගත අධ්‍යාපනයට අනුගත වෙලා තියෙන්නේ. මුලු රටේ ම ගත්තොත් සියයට 40ක් පමණ සිසු පිරිසකට විතරයි මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මේ මාර්ග ගත අධ්‍යාපනය නිසා ජංගම දුරකථනයක් අරන් දුන්නේ නැ කියලා දරුවන් සියදිවි නසාගෙනත් තිබෙනවා. ළමයින් ගොඩක් ලිංගික හිංසනයන්ට අපචාරවලට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා මෙය සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක්. කිසිම නියාමනයක් නැතුව ශික්ෂණයක් නැතුව මේක ඔහේ යන්න දීලා ඔන්ලයින් අධ්‍යාපනයෙන් අපි විශිෂ්ටයි කියලා කටමැත දොඩවන නිලධාරින්ට අපි කියන්නේ විගඩම් නවත්වලා භූමියේ තත්ත්වය තේරුම් අරන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් හදන්න කියලා. කලාප අධ්‍යාපන කාර්යාලවල ඉන්න නිලධාරින් බලකරමින් තියෙනවා ඔන්ලයින් උගන්වන්න කියලා. මේ බල කිරීම එන්නේ ඉහළ සිටයි. නිලධාරින් කියන දේ විදුහල්පතිට ගුරුවරුන්ට කරන්න වෙලා. අපේ රටේ පාසල් සිසුන් ලක්ෂ 42න් බාගයක් වත් මේ ඔන්ලයින් ඉගෙන ගන්න එන්නේ නෑ. අනිත් එක තමයි ඔන්ලයින් ඉගැන්වීම කියලා කියන්නේ පටිගත කළ පාඩමක් දාන එකවත් පෙළපොතක තියෙන කරුණු ටිකක් වට්ස් ඇප් කරන එකවත් ගුරුවරයා ලියන සටහනක් අප් ලෝඩ් කරන එකවත් නෙමෙයි.” යැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කීය. උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව, සබරගමුව, මධ්‍යම පළාතේ සැලකිය යුතු ප්‍රමාණයක් යන පළාත්වල  මාර්ගගත අධ්‍යාපනය නිසා ගුරුවරුන්, දෙමවුපියන්, සිසුන් අධ්‍යාපන නිලධාරින් ඇතුළු සියලු දෙනා  දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුගෙන් ම අපි විමසීමක් කළෙමු.

Issues in online education current covid situation sri lanka“අපේ නම් විධිමත් කාලසටහනක් හදාගෙන ටීම්ස්,එල්.එම්.එස්.සූම්, ගූගල් වැනි තාක්ෂණ වේදිකාවන් තුළ වෙන වෙනම පංති කාමර ආරම්භ කරලා වෙන වෙනම විෂයට අදාළ චැනල් ආරම්භ කරලා වැඩපිළිවෙලක් අරගෙන යනවා. හැබැයි අපේත් ළමයි සියයට 40ක් 45ක් වගේ තමයි ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා ඉන්නේ. අනිත් අයට වට්ස් ඇප්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය සමූහ හදලා පාඩම් දානවා. ඊට අමතරව යූ ටියුබ් වැනි මාධ්‍යයත් භාවිත කරනවා. ඒ පහසුකම් මුකුත් ම නැති ළමයින් ට අපි ක්‍රමයක් හදලා තියෙනවා පැවරුම් ක්‍රමයක්. ළමයින්ගේ ගෙදරටම පැවරුම් පත් ලැබෙනවා. ඒවා අදාළ වෙලාවේ කරලා ඉවර වෙලා ආපහු ගමේ ඉන්න නියෝජිතයෙක් මගින් පාසලට ලැබෙනවා. ගුරුවරුන් වෙත යැවීමේ ක්‍රමයකුත් තියෙනවා. මට තරුණ ගුරුවරු පිරිසක් ඉන්න නිසා මේ වැඩේ ටිකක් පහසුයි.” අති දුෂ්කර අධ්‍යාපන කළාපයක් වන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ජයන්ත ද සොයිසා මහතා කීය. කෙසේ වෙතත් මේ පිළිබඳව විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුගෙන් ම අපි විමසීමක් කළෙමු. බොහෝ විදුහල්පතිවරුන් පැවසුවේ ඉහළ නිලධාරින් හා කලාප අධ්‍යාපන කාර්යාලවලින් මේ පිළිබඳව බලකිරීම් කළත් පෝන් එකක් පාවිච්චි නොකරන ගුරුවරු ද සිටින රටක ළමයින් ගැන කතා කිරීම නිශ්පල දෙයක් බවයි. නම් සඳහන් කිරීමට අකමැති ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක පැවසුවේ තම පාසලේ ගුරුවරුන් 150 ක පමණ සංඛ්‍යාවෙන් ගුරුවරුන් 10ක් වත් ඔන්ලයින් උගැන්වීම නොකරන බවයි. ඇය පවසන්නේ ගුරුවරයා හා සිසුවා අතර සජීවී අන්තර් සම්බන්ධතාවක් නොමැතිව මෙවැනි අධ්‍යාපන ක්‍රම මගින් සාර්ථක ප්‍රතිපල නොලැබෙන බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන බලධාරින්ගෙන් මේ පිළිබඳව විමසූ විට අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුම පැවසුවේ මාර්ගගත ක්‍රමය ට අනුගත විය නොහැකි දරුවන් වෙනුවෙන් රූපවාහිනිය, ඊ තක්ෂලාව, ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන, ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා සම්බන්ධ කර ගනිමින් ඒ හරහා ගුරු ගෙදර වැඩසටහන් ආරම්භ කර ඇති බවයි. රජරට සේවය සමග රජරට ගුරු ගෙදර, රුහුණු සේවය සමග රුහුණු ගුරු ගෙදර, ආදී ලෙස මේවා ක්‍රියාත්මක වන බවත් ඒ සියලුම මාධ්‍ය  පිළිබඳව සිසුන් හා දෙමව්පියන් වෙත තොරතුරු ලබා දී ඇති බවත් ය. මීට අමතරව පාඩම් මාලා පැවරුම් පත් ලෙස සකස් කර සිසුන්ට ලැබීමට සැලැස්වීමද කර ඇතැයි පැවසේ. කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ රුපියල් මිලියන 500ක් පමණ වැය කොට මෙසේ සකස් කළ පැවරුම් සිසුන්ට ලබා දී නැති බවයි.

එහෙත් පළමුවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා  මාර්ගගතව අධ්‍යාපන ලබා දීම පිළිබඳව තවත් සිතා බැලිය යුතු අංශ ගණනාවක් තිබේ. ගුරුවරුන් නොමැතිව සයිබර් තිරයෙන් එහා සිටින ගුරුවරයා හා සිසුවා අතර තිබූ බැඳීම දැන් ඛණ්ඩනය වෙමින් තිබීමත් නිවෙස්වල සිටින දෙමවුපියන් දැන් කොස්ස, දොර පොල්ල, කෙවිට අතට අරගෙන  කෑ මොර දෙමින්, දඬුවම් පමුණුවමින් කායික හා මානසික හිංසනයන්ට ලක් කරමින් ගුරුවරුන් වීමට යෑමත් නිසා ඇති වන තත්ත්වයන් ගැනද සිතා බැලිය යුතු ය. ඒ අතර සිග්නල් නැතුව ගස් ගල් උඩ සිංගන්ල් සොයමින් ඇවිදින දරුවන් දෙමවුපියන්, ඒ සඳහා කුඩයක් ලයිට් කනුවක්, යකඩ බටයක් වැනි දෑ උපයෝගී කරගෙන සිග්නල් ලබා ගැනීමට දරන ප්‍රයත්නත් අපි දැක ඇත්තෙමු. මේ දිනවල ලංකාවේ බොහෝ ප්‍රදේශවල වන අලි තර්ජනත් මහ වැසි වැසීමට පටන් ගැනීමත් නිසා අනතුරු ඇති වීමේ ප්‍රවනතාවක් ද දක්නට ලැබෙයි. පළමු ශ්‍රේණියේ පුංචිම දුව පුතාටත් 6,7 ශ්‍රේණිවල දුව පුතාටත් 10,11 පමණක් නොව 12 ,13 ශ්‍රේණිවල ඉගෙන ගන්නා දුව පුතාටත් මේ ක්‍රමය හරහා ඇතිවන කායික, මානසික, සාමාජීය, චිත්තවේගික හා අධ්‍යාත්මික බලපෑම ත් පිළිබඳව අදහස් පළ කිරීමට තවමත් අපි සමත් නොවෙමු. මන්ද ඒ පිළිබඳ ව විධිමත් පර්යේෂණ අනාවරණ අපට කිසිවක් නොමැති නිසාය. කොරෝනාවෙන් විනාශ වෙමින් පවතින්නේ  අද ජන ජීවිතය පමණක් නොවේ අනාගත පරම්පරා ගණනාවක ඉහ මොළද විනාශ කරමින් තිබේ.

මේ දිනවල සමාජ මාධ්‍යය තුළ ඔන්ලයින් අධ්‍යාපනය ගැන හුවමාරු වන සිදු වීමකින් මෙම සටහන අවසන් කරමු.

“ඔබ පුදුම නොවන්න මෙය මාගේ සිසුවියකගේ ඔන්ලයින් ක්ලාස් රූම් එකය. පාදුක්ක උඩගම ප්‍රදේශයේ ජීවත් වන ඇය අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රිකයටය. නමුත්ඔබ සැම පවසන සැප සම්පත් අනුන කොළඹ  දිස්ත්‍රික් මායිමය. port city, නෙලුම් කුළුණු එකී මේකි දේ ඇති සුරපුරය අතේ දුරීනි. ඇය ජනාධිපති ලේකම් ට පැමිණිලි  කර ඇත.මොබිටෙල් සමාගමට පැමිණිලි කර ඇත. මේ අප රටේ යථාර්තය යි. ඇයට අනතුරක් නොවේවා බුදුසරණයි ලෙස පවසනවා හැර ඇගේ ගුරුතුමිය වන මා කොතෙක් අසරණ ද. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඇයට ජය ප්‍රර්ථනා කරමු. ඇයට පිහිට විය හැකි මොබිටෙල් හෝ telecom සමාගමේ යහළුවෙක් මා අමතන්න. ගුරුතුමී මා සිසුවියයි ඇය එත් අපි එක පන්තියේ..” සුදර්ශනි කලුබෝවිල යනුවෙන් එය ලියූ කෙනාගේ නම සඳහන් වේ.

තත්ත්වය මෙය බැවින් ද කලාප අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන් ට  මේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් සිදුවන බලකිරීම් හා පීඩාවන් මගහරවා ගන්නැයි කියමින් ලියුම් ගැසීම වැනි සරල කරුණකින් අත පිහදාගන්නා අධ්‍යාපන බලධාරින් දැන්වත් මාර්ගගත අධ්‍යාපනය ගැන මීට වඩා වගකීමෙන් ක්‍රියා  කළ යුතු ය.

-ඊෂා මුදියන්සේ-

Social Sharing

Related posts