මැතිවරණ ව්‍යුහය වෙනස් කිරීම සඳහා මහජන අදහස් ඉල්ලයි!

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවලට අදාල ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වසංගතය පිළිබඳ  මේ මොහොතේ  සමාජයේ ප්‍රමුඛ අවධානය යොමුව ඇතත් මෙම කටයුත්තේ ඇති ජාතික වැදගත්කම ගැන අවධානය යොමු කරමින් විවිධ දැනුම් මට්ටම් මෙන්ම සමාජ පරාසයක් නියෝජනය කරනු ලබන පුරවැසියන්ගෙන් මෙන්ම සංවිධාන වලින්ද මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටිනුයේ වඩාත් දියුණු ලක්ෂණ  වලින් සමන්විත මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන්  නියමිත කාලසීමාව තුළ අදහස්  හා යෝජනා ලබාදෙන ලෙසය.

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මහජන අදහස්  විමසීමට තීන්දු කර ඇත. මෙය  ඉතා ප්‍රශස්ත කටයුත්තක් බව එම සංවිධානය කියා සිටියි.

මැතිවරණ ව්‍යුහය මෙන්ම මැතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදනද වර්තමාන  දේශපාලන  සන්දර්භයන්ට  අනුරූපී වන පරිදි  බරපතල සංශෝධනයට  ලක්විය යුතු බවත්  විශේෂයෙන්ම  ජනතා පරමාධිපත්‍යයේ  මූලිකාංගයක් වන ජන්ද බලය බාධාවකින් හෝ බලපෑමකින් තොරව අභ්‍යාස කිරීමට නම්  සමබිමක තරඟය පැවැත්වීම  වෙනුවෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නෛතික ප්‍රතිපාදන  සැකසීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතීන බව පෙන්වා දෙන පැෆ්රල් සංවිධානය පවසන්නේ  ඒ අනුව මැතිවරණ  ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරනු ලබන පුරවැසියන්ට මෙන්ම සංවිධානවලටද මැතිවරණ ප්‍රතිසංස්කරණ  වෙනුවෙන් වන යෝජනා හා අදහස් ලබාදීම සදහා අවකාශය සලසා ඇති බවය.

එකී  යෝජනා ලිඛිතව හෝ [email protected]  නම් විද්‍යුත්  තැපෑල මගින්  අදාල කමිටුව  වෙත 2021 ජූනි මස 19 වන දිනට පෙර ඉදිරිපත් කල හැකි අතර මහජන අදහස් හෝ යෝජනා ලිඛිතව ලබා දෙන්නේ නම්, ලේකම්, මැතිවරණ  ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන විශේෂ පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, යන ලිපිනයට තැපැල් මගින් යොමු කිරීමේ හැකියාව පවතීන බව වැඩිදුරටත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියි.

-ශානි-

Social Sharing
නවතම