චීනාට යටවෙන අප්‍රිකාව!

ගොඩබිම් රාජ්‍යයන් 48ක් හා දූපත් රාජ්‍යයන් 6ක් සමග ස්වාධීන රාජ්‍යයන් 54කගෙ එකතුවෙන් සැදුම්ලත් විශාල මහද්වීපයකි අප්‍රිකාව. මෙය මානවයාගෙ පරිණාමයට ඉමහත් රුකුලක් දුන් බිමක් ලෙස පිලිගනි. නමුත් අප්‍රිකාවෙ මිනිස්සුන්ට සොදුරු ඉතිහාසයක් නම් නැත. නයිල් ශිෂ්ඨාචාරයෙන් පටන් ග්‍රීක රෝම පර්සියානු වගේම කුරුස යුද්ධයෙන් පසු යුරෝපීය හා ඇමෙරිකානු රාජ්‍යයන් යටතේද වහල්කම් කරන්න අප්‍රිකාවේ මිනිස්සුන්ට සිදුවිය.

මේ වහල්ලුන්ගෙන් පිරි භූමිය පසු කලෙක ලෝකයටම සාගින්න, කුසගින්න, දුගීබව ආදී මෙලොව අපාය පෙන්වීමෙ සංකේතය වුවත් අද වන විට අප්‍රිකාව ඉන්දියාව චීනය ඔස්ට්‍රේලියාවට වඩා නැගීගෙන එන ආර්ථිකයක් බවට පත්වෙලා. එයට හේතුව චීනයයි. කෝටි ප්‍රකෝටි ගණනින් අද චීනය අප්‍රිකාවට ආයෝජනය කරනවා. ගොඩක් ඒවා ලංකාවට දුන්නා වගේ ණය උගුල්. ඒත් කුසගින්නෙන් බැටකාපු නිදහස් මිනිස්සු චීනාට වහල්ලු වෙනවා කියලා තාම දන්නෙ නෑ.

ඇයි අප්‍රිකාව?

චීනය කියන්නෙ 20වන සියවසේ ඉතාම දුප්පත් ‍රටක්. නමුත් තනි පක්ෂ ඒකාධිපති පාලනය නිසා තියෙන දේශපාලන ස්ථාවරත්වය වගේම අඩු ශ්‍රම පිරිවැය නිසා චීනය 1970න් පස්සෙ බටහිර සමාගම් චීනයට ගෙන්වා ගත්තා. චීනය ඒකෙන් සල්ලි හෙව්වා. 2013 සිට නව සේද මාවතක් නිර්මාණය කරමින් චීන නිෂ්පාදන ලෝකයටම බෙදාහරින්න BRI ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුවත් චීනය තුල දිනෙන් දින වැඩි වන ශ්‍රම පිරිවැය නිසා චීන සමාගම්වල නිෂ්පාදන පිරිවැය අවම කරන්න අඩු ශ්‍රමිකයන් හොයාගන්න චීනයට උවමනා වුනා. ඒකට ඔවුන් තෝරගන්නෙ වහල්ලුන්ගෙ දේශය. අප්‍රිකාවයි.

මේ වන විට ස්වාසිලන්තය නම් අප්‍රිකාවේ කුඩා රාජ්‍යය හැර සෙසු රටවල් 53ක්ම දැන් චීනය සමග අත්වැල් බැදගෙන. ලංකාවට වගේම ලස්සන හීන පෙන්නලා දුෂිත පාලකයන් එක්ක අසාර්ථක ව්‍යාපෘති ආරම්භ කරලා. මහාමාර්ග, දුම්රිය මාර්ග, වරායන්, බලාගාර, ඛණිජ නිධි හා පතල් වගේ විශාල ව්‍යාපෘති වලට චීනය අද ණය ලබාදීලා අප්‍රිකාවම අල්ලගෙන. අප්‍රිකාවෙ නිදහස් මිනිස්සුන්ගේ අවසාන කාලය. ඔවුන්ට නැවත වහල්ලු වෙන්න සිද්ද වෙන්නෙ චීන කොම්පැණිවල අඩු පඩියට වැඩකරන ශ්‍රමිකයන් හැටියට.

 චීන ණය මගින් අප්‍රිකාවේ සිදුකරන විශාලතම ව්‍යාපෘති

– රුපියල් බිලියන 42ක මුදලින් ඉතියෝපියාවේ ඉදිවූ අප්‍රිකානු සංගමයේ මූලස්ථානය

– කෙන්යාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව, ඩ්ජිබූටි, නයිජීරියාව වැනි රටවල ඉදිකරන අධිවේගී දුම්රිය මාර්ග. නිදහසින් පසු කෙන්යාවේ සිදුකරන දැවැන්තම ව්‍යාපෘතිය වන්නේ රුපියල් බිලියන 807.43 ක මුදලින් චීනය නයිරෝබි හා මොම්බාසා යාකරමින් ඉදිකරන දුම්රිය මාර්ගයයි.

– රුපියල් බිලියන 6.7ක මුදලින් අබූජාහී ඉදිකරන බටහිර අප්‍රිකානු ආර්ථික සංසදයේ මූලස්ථානය

– Bauxite Exploration – රුපියල් බිලියන 2.1 එකඟතාවයකින් බටහිර අප්‍රිකාවෙ ඛණිජ නිධි කොල්ල කෑමට ගානා රාජ්‍ය සමග කරන ගවේෂණ

– රුපියල් බිලියන 990ක මුදලින් ඇන්ගෝලාවේ ඉදිකරන ජල විදුලි බලාගාරයන්

– ශ්‍රී ලංකාවෙ පෝර්ට් සිටිය මෙන් චීන ආයෝජනයෙන් ඉදිවන කොංගෝ රාජ්‍යයේ පොයින්ට් නොයිර් විශේෂ ආර්ථික කලාපය

-රුපියල් බිලියන 424 මුදලින් නයිජීරියාවේ එඩෝහී සිදුකරන තෙල් පිරිපහදුව

– සැම්බියාවෙ ඩන්ගොට් සිමෙන්ති කර්මාන්තශාලාව ඉදිකිරීමට චීනය රුපියල් බිලියන 106ක් ලබාදී ඇත.

– චයිනා ෆෝර්චූන් ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගම විසින් රුපියල බිලියන 4265ක් වැය කරමින් ඊජිප්තුවේ ඉදිකරන නව නගරය.

අප්‍රිකාව ද ලංකාව සමග චීනාට යට වුනු ගොඩට එක්වනු ඇත. බුද්ධියෙන් සිටින්න. සම්මා සතියෙන් කටයුතු කරන්න.

මහීල් බණ්ඩාර

Social Sharing
නවතම