PCR ප්‍රමාදය ගැන විශේෂ හෙළිදරව්වක්!

දැනට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාද වීම වළක්වාගෙන නිවැරදි දත්ත ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දී සිටියි.

PCR ප්‍රමාදය ගැන මේ වන විට රටේ විශාල කථා බහක් නිර්මාණය වී ඇති බවත් රසායනාගාරයක් තුල PCR පරීක්ෂාවක් සිදු කෙරෙන්නේ කෙසේද යන්න අවබෝධයක් ලබා ගැනීම වැදගත් බවත් මන්ද යත් මේ සඳහා ඇතැම් අංශ ලබා දෙන ප්‍රතිපාදන, ප්‍රතීක්‍රියක, යන්ත්‍ර දෙස බැලු විට ඒ පිලිබඳ අවබෝධයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයි ද ඔහු පවසයි.

PCR පරීක්ෂාවක් දැනට සිදු කරනු ලබන්නේ සම්ප්‍රදායික ක්‍රමයක් යටතේ බවත් මේ සඳහා කොටස් දෙකක් පාවිච්චි කරනු ලබන බවත් මෙහිදී පරීක්ෂණයට අදාල විශ්ලේෂණ ක්‍රියාවලියක් සිදුවෙන අතර ඉන්පසුව PCR යන්ත්‍රය ආශිත්‍රව PCR ක්‍රියාවලිය ආරම්භ වන බවත් මේ එක් කාර්යයයක් සඳහා පමණක් පැය තුනක පමණ කාලයක් ගත වෙන බව පෙන්වා දෙන ඔහු සඳහන් කර සිටින්නේ මේ ක්‍රම දෙකම වේගවත් කිරීම සඳහා යම් යම් තාක්ෂණික උපකරණ ලෝකය පුරා තිබුණත් ලංකාවේ ඇත්තේ ස්වයංක්‍රීය විශ්ලේෂක  යන්ත්‍ර පමණක් බවය.

දැනට ලංකාවේ රාජ්‍ය අංශයේ රසායනාගාර වල  ස්වයක්‍රීය විශ්ලේෂක යන්ත්‍ර 30 ක් පමණ ඇති නමුත් මේවා භාවිතා කිරීමට අවැසි ප්‍රතීක්‍රීයක නිවැරදි ලෙස නොලැබෙන බවද, ඇතැම් විශ්ලේෂක යන්ත්‍ර අපට අවශ්‍ය වේගය පවත්වාගෙන යාමේ හැකියාවක් නැතැයිද  හෙතෙම පෙන්වා දෙයි.

එසේම මේ යන්ත්‍ර මිලදී ගැනීමේදී අවශ්‍ය තාක්ෂණික උවමනාවන්ට වඩා විවිධ පාර්ශවයන්ගේ, මේවා පරිත්‍යාග කරන ආයතන වල උවමනාවන් අනුව පරිත්‍යාග ලැබී ඇති බව පවසන රවී කුමුදේශ් මහතා පවසන්නේ සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛය අනුව මේ යන්ත්‍රයක් මිලදී ගන්නා විට ඒවායෙහි ඒ යන්ත්‍ර භාවිතා කරන පුද්ගලයින් සිටිය යුතු බව පැහැදිලිව සඳහන් කර ඇතත් අද වන විට එය සිදුනොවන බවය.

අද වන විට ලැබී ඇති ඇතැම් විශ්ලේෂක යන්ත්‍ර වලින් අතින් කර ගැනීමේ හැකි වේගයවත් නොමැති බවත් මේ PCR පරීක්ෂණ වල වේගය වැඩි කිරීමට නම්, ධාරිතාව වැඩි කිරීමට නම් මේ ලබා දී ඇති විශ්ලේෂක යන්ත්‍ර වල වේගය වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ වලින් ඉල්ලා සිටියි.

මේ වන විට ලෝකයේ ඉතාම ලාභදායි මිලකට හොඳ උපකරණ වෙළඳපොලේ ඇතත් මේවා මිලදී ගැනිමේදි සිදුවන අවිධිමත් ක්‍රියාවලිය නිසා පෙරලා ඒ යන්ත්‍ර පාවිච්චි කිරීමට නොහැකි වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

අද වන විට කොරෝනා වෛද්‍ය පරීක්ෂණයක් විනාඩි 20 ක් වැනි කාලයක් තුල තාක්ෂණය වෙනස්  කර සිදු කළ හැකි බවත්  ඒවා ස්ථානීය PCR පරීක්ෂණ බවත් මෙහිදී විශාල රසායානාගාර පහසුකම්, ආරක්ෂිත පහසුකම් අවශ්‍ය නැති බවත් මේවා සාමාන්‍ය රසායනාගාර වලද සිදු කළ හැකි බව ඔහු කියා සිටියි.

මෙරට මුලික රෝහල් 71 ක්, දිසා රෝහල් 493 ක් ඇති බවත් මේ සියලු තැන් වල ස්ථානීය PCR පරීක්ෂණ යන්ත්‍ර භාවිතා කර PCR පරීක්ෂණ සිදු කළ හැකි බව පෙන්වා දෙන හෙතෙම පවසන්නේ මේ අලුත් තාක්ෂණය ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ඉඩක් ලැබී නැත්තේ සාම්ප්‍රදායික ලෙස සිතන විශේෂඥ මත නිසාත්, ව්‍යාපාරික අදහස් තියෙන සමහර නිලධාරීන් නිසාත්, මේ තාක්ෂණික ඇගයීම් කමිටු තුල මේ යන්ත්‍ර පාවිච්චි කරන වෛද්‍ය රසායනාගාර වෘත්තිකයෝ නැති නිසාත් බවය.

PCR පරීක්ෂණ වේගවත් කිරීමට නම් මේ අවැසි යන්ත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන  ලෙස ඉල්ලා සිටින රවී කුමුදේශ් මහතා පවසන්නේ ඊළඟ ගැටලුව ප්‍රතීක්‍රීයක වල බවත් මේවායේ සංවේදීතාවය අඩු විට පරික්ෂණය නැවත නැවත වරක් සිදු කිරීමට සිදු වෙන බවත් අද වන විට ලෝකයේ මේ ප්‍රභේද හඳුනා ගැනීමේ අධි සංවේදී ප්‍රතීක්‍රීයක තිබුණත් අර මිලටම ඒවා ලබා ගැනීමේ හැකියාවක් නැත්තේ මේ තුල මාෆියාවක් ක්‍රියාත්මක වන නිසා බවය.

දැනට පැය 08 ක් පුරා දිවෙන රසායානාගර පැය 24 ක් පුරා වැඩ  කරන්න සුදානම් වූවත් ඊට ඇතැම් පරිපාලකයින්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ බාධා ඇති බවත් ඒ්වා ඉවත් කර නිවැරදි  යන්ත්‍ර ලබා දී සැපයුම් සේවාව විධිමත් කළහොත් දැනට වඩා දෙගුණයක් දක්වා PCR පරීක්ෂණ සිදු කළ හැකි බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ මාස කිහිපයට හෝ තාක්ෂණික ඇගයිම් කමිටු සියිලු අංශ නියෝජනය වන පරිදි පිහිටුවන ලෙසටය.

-ශානි-

Social Sharing
නවතම