“එදා අපිට සර් කියපු ජාවරම්කරුවන්ට අද අපි සර් කියනවා” – විශ්‍රාමික පොලිස් අඳෝනාව

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසීය මහජන, මිත්‍රශීලි දෙපාර්තමේන්තුවක් ලෙස සැලකුවද වර්තමානය වන විට එවැනි තත්ත්වයක් පොලීසිය තුල දක්නට නැත.

බොහෝ විට මේ පොලීසි වල සිටින්නේ නිළ ඇඳුමේ බලයෙන් පිම්බුණු නිලධාරීන්ය. අල්ලසට, දූෂණයට බර පුද්ගලයින්ය.

මේ අතර අවංකව වැඩ කරන නිලධාරීන්ද අතලොස්සක් පමණ සිටින්නේය. නමුත් ඔවුන්ටද නිසි පරිදි රාජකාරීය කිරීමට හැකියාවක් නොලැබෙන්නේ විවිධ දේශපාලන, ඉහළ නිලධාරීන්ගේ බලපෑම් නිසාය. මෙයට හොඳම නිදසුන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාය.

මේ කිසිවෙකුත් සදාකාලිකව පොලීසියේ කටයුතු කරන්නේ නැත. ඔවුන්ට දිනෙක විශ්‍රාම යාමට සිදු වේ. ඉන් අනතුරුව මොහු තවදුරටත් බලය ඇත්තෙකු නොවන්නේය. ඔහුට ඇත්තේ විශ්‍රාම වැටුප පමණි. නමුත් ඒ ලැබිය යුතු විශ්‍රාම වැටුපත් සිය නිලධාරීන්ගේම කෙනෙහෙලිකම් වලින් අහිමි වන්නේ නම්, ප්‍රමාද වන්නේ නම් ඔවුන් ජීවත් වීමට මහා අරගලයක් කළ යුතුව ඇත.

විශ්‍රාම වැටුප් ලැබීම ඔවුන්ගේ අයිතිවාසිකමක් වුවද  අද ඇතැම් නිලධාරීන්ගේ එම අයිතිය අහිමි වෙමින් පවතී. මෙයට ආසන්නතම සිදුවීමක් වාර්තා වන්නේ අනුරාධපුර පොලිස් කොට්ඨාශයෙනි.

පොලිස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසකගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට යොමුකර තිබෙනා ලේඛණ සහිත ගොනු මාස ගණනාවක සිට අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන්ගේ මේස මත පල්වෙමින් තිබෙනා බව විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක් චෝදනා කර සිටියි.

අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ සේවය නිරතවී සිය සේවා කාළය සම්පූර්ණ කිරීමෙන් පසුව විශ්‍රාම වැටුප් සඳහා අයදුම් කළ පොලිස් කොස්තාපල්වරුන් සැරයන්වරුන් උප පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන්ගේ විශ්‍රාම වැටුප් ගොණු මෙසේ මාස අටකට ආසන්න කාලයක් එකතැන පල්වෙන බවත්, මේ හේතුවෙන් විශ්‍රාමිකයන් මාස කිහිපයක් තිස්සේ දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණදී ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

පොලිස් දෙපාර්තුමේන්තුවේ වසර තිහකට අධික කාලයක් සේවයේ නිරතවිමෙන් පසුව විශ්‍රාම සුවයට පැමිණීමෙන් පසුවත් පොලිස් නිලධාරීන්ගේ මනසට සහනයක් නැති බව ඔවුන් පැවසූ අතර අනුරාධපුර කොට්ඨාශ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව ප්‍රමාදයට හේතුවී ඇතැයි විශ්‍රාමිකයන් පැවසුහ.

මාස අටකට ආසන්න කාලයක් විශ්‍රාම වැටුප නොලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික පොලිස් නිලධාරීන් එකමුතුවේ නිලධාරීන් පිරිසක්. මාස අටකට ආසන්න කාලයක් වෙනවා විශ්‍රාම වැටුපට අයදුම් කරලා. නමුත් තාම විශ්‍රාම වැටුප ලැබුණේ නෑ. හොයලා බලද්දී තාම විශ්‍රාම වැටුප් ලේඛණ පොලිස් අධිකාරී කාර්යාලයේ.

විශ්‍රාම ගිහිල්ලා මාස තුනක් දෙමු මේ වැඩ සම්පූර්ණ කරන්න. ඒත් මාස පහක කාලයක් ෆයිල් එකතැන පල්වෙනවා. උසස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් නැති නිසයි මේ ගැටළුව. ඔවුන් පුටු උඩට වෙලා ඉන්නවා කාර්යාල ඇතුලේ වෙන කිසිම දෙයක් දන්නෑ.

නිලධාරීන්ගේ ගිණුම් පරීක්ෂා කරන්න තියන ස්ථානය එකම කාර්යාලයේ එහා පැත්ත මෙහා පැත්තේ තියෙන්නේ නමුත් ඒ ලේඛණය බලන්න මාස ගණනාවක් යනවා. ඔවුන්ට අපි විශ්‍රාම වැටුප ගත්තත් එකයි නැතත් එකයි. පොලිසියේ ඉන්න කාලයේ සැලකුවෙත් නෑ. විශ්‍රාම ගත්තම සලකන්නෙත් නෑ.

ඔය ආයතනයේ ඉන්න නිලධාරීන් වැඩි පිරිසක් ස්ථාන මාරුවක්වත් නැතුව වසර ගණනාවක් එකම තැනට වෙලා ඉන්නවා. ඒ නිසා එතන ආධිපත්‍යක් ඇතිකරගෙන කිසිඳු වැඩක් නොකර නිකම්ම කාලය ගතකරමින් ඉන්නේ.

නිලධාරීන්ගේ ළගට ෆයිල් එක ඇවිදගෙන එනකම් ඒ අය පුටුවේ ඉන්නවා. එදා පොලිස් නිලධාරින්ට සර් කියපු කසිප්පු ජාවාරම්කාරයාට වැලි ජාවාරම් කාරයට හොර දැව ජාවාරම්කරුට දැන් සර් කියන තත්වයට අපි පත්වෙලා ඉන්නේ. මොකද අපි ජීවත්වන ප්‍රදේශයේ කුලී වැඩක් කරගන්නත් තියෙන්නේ හොර ජාවාරම්කාරයෝ ළඟ විතරයි. විශ්‍රාම ගිය හුඟක් නිලධාරීන් දැන් ජාවාරම්කාරයෝ ළඟ වැඩ.

මොකද දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්න විදියක් බෙහෙතක් මිලදි ගන්න මුදල් නෑ. විශ්‍රාම ගිය පොලිස් නිලධාරියා හරියට ලෙල්ල ගලවපු කෙසෙල් ගෙඩිය වගේ යැයි ඔවුන් පැවසූහ. විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සොච්චම් විශ්‍රාම මුදල කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස ඔවුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසුවේය. මම නම් කොළඹ ඇවිල්ලා ඉන්නේ. මම ඔය සම්බන්ධයෙන් දන්නේ නෑ. ගිහල්ලා බලලා තමයි ඒ ගැන කියන්න පුළුවන් යනුවෙන් පැවසුවේය.

අනුරාධපුර-මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම