චිත්‍රපටකට මෙහෙම කාලාවකාශය අල්ලා ගන්න පුළුවන් ද?

කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපට බලන්න පටන් ගත්තා. කාලයක ඉඳලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටිය චිත්‍රපටයක් තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. මේක බාගන්න හේතුවුණේ කාන් සිනමා උළලේදී හොඳම ස්ක්‍රිප්ට් එකට හිමි සම්මානය මේ චිත්‍රපටයට ලැබීම. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම ලියන්නේ Céline Sciamma.

කතාව නිකං උඩින් උඩින් කියන්නම්, 18වැනි ශතවර්ෂය තමයි චිත්‍රපටයට පසුබිම්වෙන කාලය. මාරියන් කියලා තරුණ ලස්සන ආසා හිතෙන සිත්තරාවියක් ඉන්නවා. ඇයට කාන්තාවක් තමන්ගේ දුවගේ (හෙලෝයිස්) ආලේඛ්‍ය චිත්‍රයක් නැත්නම් portrait එකක් කරන්න කියලා කොන්ත්‍රාතුවක් භාරදෙනවා. හැබැයි මේ චිත්‍රයට පසුබිම්වන තරුණිය ඒ පිළිබඳව දැනගත යුතු නැහැ. ඒ කියන්නේ මාරියන්ට මේ චිත්‍රය අඳින්න වෙන්නේ නිරූපිකාවට නොදැනෙන විදිහට. ඇත්තටම ඒකට හේතුවක් තියෙනවා, ඒ තමයි හෙලෝයිස් එලබසිටින විවාහය ප්‍රතික්ෂේප කිරීම.

මාරියන් කියන සිත්තරාවිය හෙලෝයිස් ජීවත්වෙන දූපතට යනවා. ගිහිං ඇය හා වෙසෙනවා. ඇය කෙසේ හෝ අවසානයේ හෙලෝයිස් හට නොදැනීම චිත්‍රය අඳිනවා. එහෙත් අවසානයේ මාරියන් මේ සිතුවම මුලින්ම පෙන්වන්නේ හෙලෝයිස්ට. ඒ ඇගේ මවගේ මුල් ඉල්ලීමත් නොසලකා හරිමින්. එහිදී ඇය චිත්‍රය ගැන දරුණු විවේචනයක් කරනවා. එනිසා චිත්‍රය විනාශ කරන මාරියන් හෙලෝයිස්ගේ කැමැත්තෙන්ම ඇය නිරූපිකාවක් ලෙස තමන් ඉස්සරහා හිඳුවගෙන නැවතත් සිතුවමක් අඳිනවා. ඒ චිත්‍රයේ නම තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. චිත්‍රපටය ආරම්භ වෙන්නේ සිත්තරියගෙන් ඇගේ චිත්‍ර සිසුවියක් පාඩමක් අතරතුර අසන පැනයක් සමගින්.

මේක ඇත්තටම පිස්සු හැදෙන චිත්‍රපටියක් කිව්වොත් හරී. අපිව හොලවලා හොලවලා අතාරින චිත්‍රපටියක්. මේ චිත්‍ර ඇඳිල්ලේ කාලාවකාශ තරණය කියලා කියන්නේ මේ  කෙල්ලෝ දෙන්නා තමන් ඉස්සරහා ඉන්න අනෙකාගේ ආත්මයට රිංගලා එහි පුරුදුකාරයින් වෙන්න ගන්න කාලය. දෙවෙනි චිත්‍රය ඇඳලා ඉවරවෙනකොට ඔවුන් සමරිසි ප්‍රේම සරාගයක හිමිකාරියන්. ඒක ශරීරකූඩු රසායනික ප්‍රේමයක් නෙවෙයි. වචන වචන අතර ඉඟි පෑම් අතර හැඟීම් හැඟීම් අතරේ දිව වැගිරෙන ප්‍රේම තටාකයක්. එහි නඟන රළ චිත්‍රපටය එක මිටට ගැටගහනවා.

මේ චිත්‍රපටය බලනකොට මට බර්ග්මාන් ගේ Persona (1966) කියන චිත්‍රපටයේ රූප රාමු මතක් වුණා. මේහි රූප සංරචනය, රූපය අස්සේ තිබෙන සාරය සකසලා තිබෙන්නේ Persona විදිහටයි කියලා හිතෙන අවස්ථා එමටයි. හැබැයි එතනිනුත් එහාට ගිහිං සම්පූර්ණ චිත්‍රපටයම කැන්වසයක ඇඳි චිත්‍රයක් මට්ටමට අරගෙන ඇවිත් තිබෙනවා. අපි මේ චිත්‍රපටය සමග බැඳෙන්නේ කලාගාරයක තිබෙන චිත්‍රයක් සමග බැඳෙනවා වගේ. අඳුර සහ ආලෝකය ඒ සඳහාම විශේෂ පරීශ්‍රමයකින් එහෙට මෙහෙට කරලා තියෙනවා. වර්ණ ඒත් එහෙමයි.

ඇත්තටම පිස්සු හැදෙන කැමරා වැඩක් සහ අධ්‍යක්ෂණ කාර්‍යයක් මේ චිත්‍රපටය අස්සෙන් එළියට පනිනවා.  මේ තරුණියන් දෙදෙනාගේ හැඟීම් ගිනි පොකුරු වගේ කැමරාව අස්සෙන් අපේ ඇස්වලට පනින්නේ ඒක නිසා. සිනහව, කඳුළ, නිහැඬියාව, මේ කාල කැබලි කැමරාව අස්සේ නතරකරගන්න විදිහ නිසා තමයි අධ්‍යක්ෂණය සුපිරියි කියලා කියන්නේ. මේ කාන්තා ප්‍රේමය අස්සේ ප්‍රේම දෑස් පැටලෙන අස්සේ අපේ හදවත් ගැස්සෙන්නේ ඒකයි.

මුහුද, විශාල ගෘහය අතරේ එහෙට මෙහෙට නැළවෙන පැද්දෙන ගැස්සෙන සමහර වෙලාවට පිපිරෙන මේ ගැහැනුන් දෙදෙනා ඒ ඔස්සේ අපිට දෙන හැඟීම් වැස්ස අපිව චිත්‍රපටයට අලවනවා. ඇත්තටම ඒක මේ කාන්තාවන් දෙදෙනා චිත්‍ර කාර්‍ය ඉවරවුණාට පස්සේ ඉතා ඉක්මනින් ශාරීරිකව වෙන් උනත් මනසින් බැඳිලා ඉන්නවා වගේ.

හෙලෝයිස් මාරියන්ගෙන් සමුගන්න ඔන්න මෙන්න එක රාත්‍රියක මාරියන් තමන්ගේම නඟ්න සිතුවමක් හෙලෝයිස් අත ඇති පොතක 28 වෙනි පිටුවේ අඳිනවා. මේ වෙලාවේ කැඩපත තිබෙන්නේ මාරියන්ගේ දෙකකුල් අතරේ රැඳිලා. මාරියන් තමන්ව දකින්නේ හෙලෝයිස්ගේ කකුල් දෙක අතරින්.! වෙන් වෙලා සෑහෙන්න කාලෙකට පස්සේ සිතුම් දැක්මකදී මාරියන්ට නැවතත් හෙලෝයිස් මුණගැහෙනවා. හැබැයි ඒ ශාරීරිකව නෙවෙයි. හෙලෝයිස්ගේ තවත් ආලේඛ්‍ය චිත්‍රයක් එහි තිබෙනවා. එහි ඉන්න හෙලෝයිස් අතේ පොතක් තිබෙනවා. ඈ ඒ පොත වසාගෙන හිටියත් 28වෙනි පිටුව මත සිය ඇගිල්ල තබාගෙන තමයි ඇය ඉන්නේ. එයින් හඟවන්නේ කුමක්ද?.. ප්‍රේම සරාගයේ විසල් බව නොවෙයිද?

කේ සංජීව

Social Sharing
නවතම විශේෂාංග