මාරවිල රෝහලේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් පොකුරක්!

කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි.

දෙවැනි කොවිඩ් රැල්ලේදී රාගම රෝහලේ වෛද්‍යවරයෙකු හා රත්නපුර රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු මේ කොවිඩ් මාරයා විසින් බිලිගත්හ. නමුත් ඒ් අවස්ථාවේදී වෛරසය ආසාදනය වු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙතරම් ඉහළ ගොස් තිබුණේ නැත.

වත්මන් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන අවස්ථාවේ බොහෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින්නේ අවදානම් ත්ත්වයකය. මන්ද ඔවුන්ට නිසි පරිදි ආරක්ෂාවක් අදාල බලධාරින්ගෙන් නොලැබීම නිසාය. පහුගිය දිනෙක සමස්ත ලංකා හෙද සංගමය විසින්ද අනාවරණය කර තිබුණේ කොළඹ ජාතික රෝහලේ පවතින ඛේදජනක තත්ත්වයක් පිලිබඳවය. ඒ ඔවුන්ට නිසි පරිදි ශල්‍ය මුව වැසුම් නොලැබීම, ක්ෂණික ප්‍රතිදේහ කට්ටල අවසන් වීම, ආරක්ෂිත ඇඳුම් හිඟ වීම යනාදිය කරුණුය. මේ වන විට ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 30 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතව සිටියි.

මේ අතර අපට මාරවිල මූලික රෝහලෙන්ද අසන්නට ලැබුණේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවදානමකට ලක් කර ඇති පුවතකි. මෙම රෝහලේ සිටින්නේ දැනට වැඩ බලන රෝහල් අධ්‍යක්ෂකවරයෙකි.

මාරවිල රෝහලේ මේ වන විට දැඩි සත්කාර ඒ්කකයද වසා දමා ඇත්තේ එහි හෙදියන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත වීම නිසාය. එහිදී වහාම ඔවුන්ගේ පළමු පෙළ ආශිත්‍රයින් නිරෝධායනය කර දැඩි සත්කාර ඒ්කකය වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

නමුත් රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරය විවෘතව එහි හදිසි මෙන්ම සාමාන්‍ය ශල්‍යකර්ම සිදු කරමින් පැවතුණි. මෙහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 40 කු පමණ සේවය කරනු ලබයි . මේ අතර ඉකුත් 12 දා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් මෙහි සේවය කරන හෙදියන් දෙදෙනෙකු පොසිටිව් බව හඳුනාගෙන ඇත. මේ එක් හෙදියකගේ නිවසේ සාමාජිකයින් පස් දෙනෙකු සිටින අතර ඔවුන් සියල්ලද පොසිටිව් වී ඇත. මේ වන විට මෙම හෙදියන් සිටින්නේ අයි.ඩි.එච් රෝහලේය. ඉන් අනතුරුව මුලු රෝහලේම කාර්ය  මණ්ඩලය පි.සි.ආර් පරික්ෂාවට ලක් කර ඇත. ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂාව සිදුකර අද (15) වනතුරු  සේවයටද පැමිණ ඇත.

නමුත් ප්‍රධාන ශල්‍යාගාරයේ කොවිඩ් ආසාදිත වූ හෙදියන්ගේ පළමු පෙළ ආශිත්‍රයින් නිරෝධායනය කිරීමක්වත්, එහි කිසිදු විෂබීජහරණයක්වත් සිදු නොකොට අද දක්වා සැත්කම් කර ඇත. කොවිඩ් ආසාදිත හෙදියන් අනාවරණය වීමට පෙර මෙම කාර්ය මණ්ඩලය PPE කට්ටල (ආරක්ෂිත ඇඳුම්) ඇඳ නැත. නමුත් හෙදියන් දෙදෙනා පොසිටිව් වූ පසු ඉහළින් දන්වා ඇත්තේ මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල අඳින ලෙසටය.

මේ අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල අද (15) දින පැමිණ ඇත. ඒවා අනුව රෝහලේ වෛද්‍යවරු, හෙද හෙදියන්, සුලු සේවක සේවිකාවන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුලු 20 කු පොසිටිව් බව හඳුනාගෙන ඇත. මේ අතර ශල්‍යාගාරයේ කාර්ය මණ්ඩලයද ඇතුලත්ය. මෙහි විශේෂතවය වන්නේ මේ පුද්ගලයින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් අයද වීමය.

අද දින පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු ඒ වන විටත් සේවයේ යෙදී සිටි අයව නිවෙස් වලට පිටත් කර ඇති අතර නිවෙස් වල සිටි අයටද නිවෙස් වලම සිටින ලෙස රෝහල් බලධාරීන් දන්වා ඇත.

රෝහල් සේවකයින් පවසන්නේ මේ අවස්ථාවේ අවම වශයෙන් හදිසි අවස්ථා වලට පමණක් ප්‍රධාන ශල්‍යාගාරය සීමා කර සාමාන්‍ය සැතක්ම් නවත්වන ලෙසත් අඩුම වශයෙන් තාවකාලිකව මෙම ශල්‍යාගාරය වසා විෂබීජහරණය කර සේවයේ යෙදී සිටින අනෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල මෙන්ම සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ  ආරක්ෂාව තහවුරු කරන ලෙසටය. එසේම සමස්ත රෝහලේම කාර්ය මණ්ඩල වල, රෝගීන්ගේ ආරක්ෂාව සලසන ලෙසය.

-ශානි-

Social Sharing
නවතම