“සේරා ඕඩියෝ බුක්ස්” ගැන මේනකා ජයසුන්දරගේ කතාව

ඔබ දුරු රට දිවිගෙවන කෙනෙක්. හැබැයි ඔබ සිංහල බස ගැන වගේම සාහිත්‍යය ගැනත් දෑස් දල්වන් ඉන්න කෙනෙක්. ඇත්තටම ඇයි හිතුවේ සේරා ඕඩියෝ බුක්ස් යූනළය පටන් ගන්න.

මම අපේ සාහිත්‍යය සහ කලාව ගැන ඇල්මක් තියෙන කෙනෙක්. ඉතින් විදේශයක ජිවත් වීම නිසා ඒ ඇල්ම වැඩිවුණා මිසක් අඩුවෙලා නැහැ. විශේෂයෙන්ම ප්‍රංශය වගේ රටක මිනිස්සු ඔවුන්ගේ සාහිත්‍යයට කලාවට දක්වන ඇල්ම දැක්කහම අපේ සාහිත්‍යය සහ කලාව ගැන මගේ තිබුන ඇල්ම ඇම්මක් බවට පත් උනා කිව්වොත් තමයි හරි. ඇයි සේරා ඕඩියෝ බුක්ස් යූ නලය පටන් ගන්න හිතුවේ? ඒක ටිකක් දිග කතාවක්. නමුත් කෙටියෙන් හරි ඒ කතාව කියන එක හොඳයි කියලයි මම හිතන්නේ.

අපි හැමෝටම හීන තියෙනවනේ. සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ මට තිබුන හීනවලින් එකක්. හැබෑ කරගත්ත හීනයක්. පොඩි කතාවක් කියන්නම්. මීට වසර කිහිපයකට කලින් එක්තරා අවස්ථාවක මගේ වෛද්‍යවරු මට කියනවා මට ජිවත් වෙන්න තියෙන්නේ තව අවුරුද්දකටත් අඩු කාලයක් කියලා. හැබැයි ඔවුන්ගේ අනාවැකිය බොරු කරමින් මම අදත් ජිවත් වෙනවා. මගේ වෛද්‍යවරු නම් කියන්නේ ඒක ආශ්චර්යයක් කියලයි. මම හිතන්නේ මෙහෙමයි. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ ලෝකය වෙනුවෙන් යම් යහපත් දෙයක් කරන්න. මම හිතන්නේ මම මේ ලෝකයට ආපු කාර්යය තවම ඉවර නැහැ. ඉතින් මට අවස්තාවක් දීලා තියෙනවා ඒ දේවල් පටන් ගන්න. අපිට තියෙන්නේ හොඳ දේවල් පටන් ගන්න විතරයි. අපෙන් පස්සේ පරම්පරාවල් ඒවා කරගෙන යාවි. සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ ඒ වගේ යහපත් දෙයක ආරම්භයක්.

මම ඉතාමත් රෝගීව ගතකරපු කාලයක් තිබුනා. ඒ කාලයේදී මට පොතක් පතක් කියවන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. සමහර වෙලාවට මගේ මිතුරන් ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් ලියවුනු පොත් මම වෙනුවෙන් කියෙව්වත් සිංහල භාෂාවෙන් ලියවුනු පොතක් කියවගන්න කෙනෙක් මට හිටියේ නැහැ. මම ඕඩියෝ පොත් අහන්න ඒ කාලෙත් පුරුදු වෙලා හිටියා. ඒත් ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් අහන්න ඕඩියෝ පොත් ඕනෑතරම් තිබුනත් සිංහල ඕඩියෝ පොත් තිබුනෙ නැහැ. මම වගේ පොත් කියවන්න ඇබ්බැහි උන කෙනෙකුට මේක හරිම අමාරු කාලයක්. ඒ වෙලාවේ තමයි මට සිංහල ඕඩියෝ පොත් කළ යුතුයි කියන සිතුවිල්ල දැඩිව දැනෙන්න පටන් ගත්තේ.

අනෙක් කාරණය, යම් යම් අවස්ථාවල මම ප්‍රංශයේ ආබාධිත දරුවන් සමග වැඩ කරන ආයතන සමග විවිධ වැඩසටහන්වලට සහභාගී වෙලා තිබුනා. ඒ වෙලාවේ මම නිරීක්ෂණය කල දෙයක් තමයි දෘශ්‍යාබාධිත පුද්ගලයින් ශ්‍රව්‍ය කෘති එහෙමත් නැතිනම් මේ ඕඩියෝ පොත් අහන්න තියෙන දැඩි කැමැත්ත. ඒ වගේම ඔවුන්ට තෝරාගැනීම් කල හැකි පරාසයක විශාල පොත් ප්‍රමානයක් ප්‍රංශ භාෂාවෙන් ශ්‍රව්‍ය කෘති බවට පත් වෙලා තිබුනා. යූ ටියුබ් වගේ නොමිලේ ලබාගත හැකි මාධ්‍යවල වගේම යම් මුදලක් ගෙවලා භාගත කරගත හැකි ආකාරයට. ලංකාවේ දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් එවැනි දෙයක් නොමැති වීමේ අඩුවත් මට තදින් දැනුනා කිව්වොත් තමයි නිවැරදි. ඉතින් ඔය සියලු කාරනා එක්ක මට හීනයක් තිබුනා කවදාහරි ඉතා උසස් ගනයේ සිංහල කෘති කිහිපයක්  ශ්‍රව්‍ය  කෘති බවට හැරවිය යුතුයි කියලා. ඒ හීනය හැබෑ කරගන්න අවස්තාව ලැබෙන්නේ පහුගිය අවුරුද්දේ. කෝවිඩ් අවධානමත් එක්ක සංචරණ නිදහස සීමාවෙලා ගෙදරටම කොටු වීමෙම මේ වැඩේ ආරම්භ කරන්න නිදහසක් ලැබුනා කිව්වොත් තමයි හරි.

යුරෝපයේ ජිවත් වන කෙනෙක් විදිහට ඔබට තිබෙන අත්දැකීම මොකද්ද මේ ඕඩියෝ බුක්ස් කියන සාහිත්‍යය ගැන

පලවෙනි අත්දැකීම මම ඉහත සඳහන් කරපු ආබාධිත දරුවන් සමග මම ලැබූ අත්දැකීම. අනෙක් කාරණය ඕඩියෝ පොත් ලංකාවට තවම අලුත් සංකල්පයක්  උනාට මේ රටවල එය ප්‍රචලිත වෙමින් පවතින දෙයක්. නොමිලේ වගේම යම් මුදලක් ගෙවා භාගත කරගත හැකි ආකාරයට ඉතා විශාල ප්‍රමාණයක කෘති, ශ්‍රව්‍ය කෘති බවට හැරවිලා තියෙනවා. කාර්යබහුල ජිවන රටාවක් ගෙවන අයට මේ ඕඩියෝ පොත් කියන්නේ ආශිර්වාදයක්. තාක්ෂනය දියුණු වෙලා අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් අපි කැමති පොත් අහන්න පුළුවන් යුගයකට අපි ඇවිත්. ඉතින් ඇයි අපි මේ වගේ හොඳ දේවල් උකහා නොගෙන ඉන්නේ. අනෙක් කාරණය අපිටත් කතා කීමේ සාහිත්‍යක් තිබුනා. පොඩි කාලේ අපි කතන්දර අහනවනේ. ඉතින් ඕඩියෝ බුක්ස් කියන්නේ අපිට එච්චචරම නුහුරු දෙයක් නෙවෙයි.

ඔබ පොතක් ශ්‍රවන පොතක් බවට පෙරළන්න හිතනකොට මුලින්ම හිතන්නෙ ඒ කෘතියේ කුමන ලක්ෂණද? නැත්නම් ඕනෑම කෘතියක් තෝරාගන්නවාද?

මෙහෙමයි. රසාස්වාදය කියන දේ සිමා මායිම් දාලා වෙන් කරන්න මම කැමති නැහැ. ඔබ කැමති ගනයේ කෘතිවලට මම අකමැති වෙන්න පුළුවන්. මම කැමති ගනයේ කෘතිවලට ඔබ අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මගේ රසාස්වාදයට වඩා ඔබේ රසාස්වාදය ඉහළයි හෝ ඔබේ රසාස්වාදයට වඩා මගේ රසාස්වාදය ඉහළයි කියලා. අපි එහෙම බෙදීම් රේඛා හදනවානම් ඒක වැරදියි. හැබැයි සේරා ඕඩියෝ බුක්ස් සඳහා පොත් තෝරාගැනීමේදී මට තියෙනවා යම් යම් නිර්ණායක. මිනිසුන්ගේ ඔලුවට ධනාත්මක යමක් දිය හැකි සහ සංස්කෘතිමය වශයෙන් දියුණු මිනිසෙක් නිර්මාණය වෙන්නට අත්වැලක් වියහැකි කෘති ඕඩියෝ පොත් බවට පත් කිරීම මූලික අරමුණ. ඒ ඇරුනහම, දීර්ඝ ගමනක් යා හැකි බවට ඉඟි පලකරන අලුත් තරුණ ලේඛක ලේඛිකාවන්ගේ පොතුත් මම ශ්‍රව්‍ය කෘති බවට පත් කරනවා. එක අතකින් එය ඔවුන් වෙනුවෙන් මගේ පැත්තෙන් දෙන දිරි දීමක්. ඔවුන් මට දෙන මම ඔවුන්ට දෙන පොඩි තෑග්ගක්.

ඔබ ප්‍රංසයේ ඉඳලා තමයි මේ වැඩේ කරන්නේ. ඔබ විඳින දුෂ්කරතා ගැනත් අපි ටිකක් කතාකරමු..

මුලින්ම මම මේ ඕඩියෝ පොත් ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා කියන්න ඕනේ. මේක ලේසි වැඩක් නෙවෙයි. සමහර විට පිටින් ඉඳන් බලන කෙනෙකුට පේන්නේ යූ ටියුබයට එන ඕඩියෝ පොත විතරයි. හැබැයි ඒ ඕඩියෝ පොත නිර්මාණය වෙන්නේ දීර්ඝ සහ වෙහෙසමත් ක්‍රියාවලියකින්. මගේ ඕඩියෝ පොත්වලට කටහඬ සපයන්නන් ඉන්නේ ලංකාවේ. ඕඩියෝ පොත් සංස්කරණය කරන්නා ඉන්නේ ලංකාවේ. පළමු පියවර විදියට ඕඩියෝ කිරීමට මා විසින් තෝරා ගන්න පොත අපි තුන් දෙනාම හොඳින් කියවනවා, ඒ කියන්නේ නැරේටර්, ඕඩියෝ එඩිටර් සහ මම. පොත ඕඩියෝ විය යුතු ආකාරය ගැන මම ඔවුන් සමග පොඩි කතාබහක් කරනවා. මට අවශ්‍ය ආකාරය මම ඔවුන්ට පැහැදිලි කරනවා. බොහෝ වෙලාවලට මම තෝරාගන්න කෘතියේ කතෘගේ අදහස් විමසනවා. ගැටලු ඇතිතැන් නිරාකරණය කරගන්නවා. ඊට පස්සේ තමයි පොත වොයිස් කිරීම පටන් ගන්නේ. ඊට පස්සේ ඒක එඩිට් වෙනවා. සමහර පොත් තියෙනවා කිහිප සැරයක් වොයිස් කරපු සහ එඩිට් කරපු. හේතුව මම අපේක්ෂිත ප්‍රතිපලය එන්නේ නැත්නම් ආපහු කරන්න සිද්ධ වෙනවා. යූ නලයට මුදාහරින්න පෙර පුද්ගලිකව මම සෑම ඕඩියෝ පොතකටම සවන් දෙනවා. සමහරවිට කිහිප සැරයක්ම. හැකි තරම් වැරදි සහ අඩුපාඩු රහිත ඕඩියෝ පොතක් මුදාහැරීමයි මගේ අරමුණ. අවසානයේ සෑහීමකට පත්විය හැකි ඕඩියෝ පිටපත සේරා ඕඩියෝ බුක්ස් යූනලයට එකතු කරන්නේ මම. නවීණ තාක්ෂනයේ වාසිය උපරිමයටම ප්‍රයෝජනයට අරගෙන රටවල් දෙකක ඉඳලා අපි ඕඩියෝ බුක්ස් කරනවා. අවසානයේ ඔබ අහන ශ්‍රව්‍ය කෘතිය මේ  මහන්සියේ සහ කැපවීමේ ප්‍රථිපලයක්.

දුෂ්කරතා ගැන කිව්වොත්.. කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධවෙන කාරණයක් තියෙනවා. ඒ අපේ අයගේ තියෙන වෙලාවට කලාවට වැඩක් කිරීමට නොහැකි කම. අනෙක් කාරණය සෘජුව කෙලින් කතා නොකිරීම. අදහස් ප්‍රකාශ නොකිරීම. වැඩ නොකිරීම. බාරගන්න කාර්යය හරියට නොකිරීම. එහෙම අය එක්ක වැඩක් කිරීම හරිම අපහසු දෙයක්. විශේෂයෙන්ම මම ඉන්නේ ලංකාවේ නොවෙන නිසා. සේරා ඕඩියෝ බුක්ස් පටන් ගැනීම ටිකක් හෝ කල් යන්නේ මෙන්න මේ වගේ පිරිස් නිසා. හැබැයි අද මම එක්ක වැඩක් කල හැකි දක්ෂයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉදිරියේදී තව අය එකතු වේවි.

ඇයි මේ ශ්‍රව්‍ය පොත් නොමිලයේ අහන්න දෙන්නේ ? යම් කිසි සාධාරණ මුදලකට මේ පොත ලබාදීලා ශ්‍රව්‍ය පටිගතකිරීම්වලට දායක වන්නන්ගේ බුද්ධිමය දායකත්වයට යන පිරිවැය ඉන් ආවරණය කරගන්න ඔබට පිළිවන් කම තියෙනවා නේද ?

නිකන් දෙන දේහි අගය මිනිස්සු තේරුම් නොගන්න බව මම නොදන්නවා නෙවෙයි. සේරා ඕඩියෝ බුක්ස් නොමිලයේ අහන්නට දීම ගැන බොහෝ දෙනෙක් මතුකරපු කාරණයක් තමයි දෘශ්‍යාබාධිත අයට නොමිලේ ලබාදුන්නත් අනෙකුත් පාඨකයන්ට සාධාරණ මිලක් නියම නොකරන්නේ ඇයි කියන එක. දැනට මම කරපු සියලුම කෘතිවල ප්‍රකාශකයන්ගේ සහ ලේඛකයන්ගේ අනුමැතිය මට ලැබෙන්නේ නොමිලයේ. ශ්‍රව්‍ය පටිගතකිරීම්වලට දායක වන්නන්ට සහ සංස්කරණයේදී යම් පිරිවැයක් දැරීමට මට සිදුවුණත් මෙය මුදල් ගෙවා ඇසීමක් කරන්න මට අවශ්‍ය නැහැ. මම ව්‍යාපාරිකාවක් නෙවෙයි. සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ මුදල් උපයන ව්‍යාපාරයක් නෙවෙයි. වර්තමානයේ තියෙන්නේ මුදල් මතම යැපෙන වටපිටාවක්. හැබැයි ජීවිතය කියන්නේ මුදල් පමණක්ම නෙවෙයි. සංතෘෂ්ටිය කියන්නේ මුදල්වලින් ගන්න බැරි දෙයක්නේ. මට මේ ලැබුන බෝනස් ජිවිතය ඇතුලේ යම් කිසි දෙයක් කරන්න මට අවශ්‍යයි. මේ ශ්‍රව්‍ය කෘති ඉන්එක පියවරක්. මම නැති දවසක කවුරුන් හෝ මෙය නොකඩවා කරගෙන යාවි සහ ලංකාවේ පොත් කියවන විතරක් නෙවෙයි පොත් ඇහෙන සංස්කෘතියක් බිහිවෙන්නත් මේක හොඳ ආරම්භයක් වේවි. ඉතින් ඒ මදිද?

ඔබගේ මේ කාර්යය සාක්ෂාත් කරගන්න දායක උන අය කවුද?

මේ වෙලාවේ මතක් කල යුතු කිහිප දෙනෙක් ඉන්නවා. මුලින්ම ස්තුතිවන්ත විය යුත්තේ මා මිත්‍ර ලක්ෂිත ජයවර්ධනට. ඕඩියෝ පොත් හීනය මම මුලින්ම බෙදාගත්ත කිහිප දෙනාගෙන් කෙනෙක් ඔහු. මේ වැඩේට අවශ්‍ය හඬවල් සොයාගැනීමට මට සහාය වෙන්නේ ලක්ෂිත. විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමන්කඩ. මගේ ඕඩියෝ පොත් අදහස කියූ සැනින් ඔහු දෙවරක් නොසිතා ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ අගනා කෘති කිහිපයක් මට ලබා දෙනවා. මේ හීනය ඉක්මනින් හැබෑ කරගන්න පිළිවන් වෙන්නේ වගේම, අගනා කෘති කිහිපයක් ඕඩියෝ පොත් විදියට ඔබට ලබාදෙන්න මට හැකි වෙන්නේ ඒ නිසයි. මම සේරා ඕඩියෝ බුක්ස් පටන් ගන්නේ හඬ ශිල්පිනි දේෂි වීරසිංහ සහ සංස්කරණ ශිල්පි නිෂ් මුදියන්සේ සමග. ඉතාමත් දක්ෂ තරුණ දරුවන් දෙදෙනෙක්. සේරා ඕඩියෝ බුක්ස් මේ දුර එන්නේ ඔවුන් දෙදෙනාගෙත් දැඩි කැපවීම මත.  ඒ වගේම  පසු කාලයක ගුවන් විදුලි සංස්ථාවේ, හිටපු හඬ පුහුණුවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වුණ, තිලින සමරසුරියගේ හඬ දායකත්වයත් සේරා ඕඩියෝ බුක්ස් සඳහා ලබාගන්න මට පුළුවන්කමක් ලැබෙනවා. සේරා ඕඩියෝ බුක්ස් සඳහා තම කෘතීන් ලබා දෙන්නට අනුමැතිය දුන් සියලුම කතුවරුන්ට මගේ ගෞරවනීය ස්තුතිය හිමි විය යුතුයි. විශේෂයෙන්ම මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ නිස්සංක විජේමාන්නයන්ට. අපි මුලින්ම ශ්‍රව්‍ය කෘති බවට පත් කරන්නේ ඔවුන්ගේ පොත්. ලොකු අවධානමකුත් අරගෙන තමයි ඔවුන් මේ වැඩේට ඔවුන්ගේ පොත් ලබා දෙන්නේ. අවසාන වශයෙන් සේරාට. මගේ දෝණිට. මේ සියල්ල කරන්න මට ශක්තිය දෙන්නේ ඇය.

අවසාන වශයෙන් කියන්න ඔබ මෙතෙක් කරපු කෘතීන් සඳහා ඔබට ලැබුණ ප්‍රථිචාර ගැන

ප්‍රථිචාර බලාපොරොත්තුවෙන් පමණක් මේ කාර්යය ආරම්භ කළා නම්  දැනටමත් මම මේක නතර කරලා. ඒ තරම්ම ඉතාමත් අල්ප පිරිසක් තමයි මාව දිරිමත් කරමින් ප්‍රතිචාර දැක්වුයේ. ප්‍රතිචාර දැක්වූ කිහිප දෙනාට මේ මොහොතේ මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ කිහිප දෙනාගේ ධනාත්මක ප්‍රතිචාර මට ලොකු ශක්තියක් උනා කියලා නොකිව්වොත් මම ඒක ඔවුන්ට කරන අසාධාරණයක්. ඒ අතර දෘශ්‍යාබාධිත කිහිප දෙනෙකුත් හිටියා. නිතර මා හා සම්බන්ධ වෙමින් මේ කාර්යය අගය කරපු. ඉතින් තව මොනවද?  මම හිතන්නේ මගේ යුතුකම සහ වගකීම වෙන්නේ හැකි තරම් ශ්‍රව්‍ය කෘති ප්‍රමාණයක් මේ අවකාශයට මුදාහැරිම. අද නැති උනත් තව අවුරුදු දහයකින් පහළොවකින්  මිනිස්සු මේවාට සවන් දේවි. මම නැති උනත් සේරා ඕඩියෝ බුක්ස් පවතීවි. ලංකාවේ පොත් අහන සංස්කෘතියක් බිහිවේවි. තව අය අතින් ශ්‍රව්‍ය කෘති බිහි වේවි. මීටත් වඩා ගුණාත්මක ශ්‍රව්‍ය කෘති බිහිවේවි. ඉතින් තව මොනවද. අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ ශ්‍රව්‍ය කෘතිවල අපිටම අනන්‍ය වුණ අලුත් හැඩයක් හොයාගෙන යන ගමනක ආරම්භය. ඒ හැඩය තීරණය කරන්නේ ඇස්වලින් නෙවෙයි කන්වලින් පොත් කියවන ඔබයි.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග