ආර්ථිකයට කලින් ජීවිත රැක ගන්න – එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ

ආර්ථිකයට වන හානිය නැවත සකසා ගත හැකි මුත් ජීවිත වලට හානිය අපට හදා ගත නොහැකි බවත් ඒ නිසා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වන විට කොවිඩ් වසංගතයෙන් ඉහළ යන මරණ හා වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා  රෝගයක් පැතිරිලා යනවා. අපි මේ හැම රෝගයකින්ම රටේ ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, අපේ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් සමග ඉකුත් දිනක කළ සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කළ නිවේදනයට අනුව  ඊළග සති කිහිපය තුළදි කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ඔවුන් පුරෝකතනය කර තිබෙනවා.

අපි මෙහිදී තව කරුණක් මතක තබාගත යුතුයි. එනම් අපේ රටේ එන්නත් හිඟයක් තියෙනවා. ජනතාවගෙන් හැම කෙනෙකුටම එන්නත ලබාදෙන්න ලබන වසර හෝ මේ වසරේ අග අතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වෙනතුරු රටේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමයි. එහිදී  වෛද්‍යවරු රට වහන්න කියනවා නම් එයත් අපි ඉටු කළ යුතු වෙනවා.

ඉන් පසුව කොවිඩ් වසංගතය පාලනය වී තිබේදැයි අපට සතියෙන් සතිය වාර්තා ගෙන ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. ඊට අමතර වෙන විකල්ප තිබෙනවාදැයි කියන්න මම දන්නේ නැහැ. කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම පවතින දුබල ආර්ථිකයට මරු පහරක්. එම නිසා පවතින රෝග ව්‍යාප්තිය නතර කර ගන්න අවශ්‍යයි. එසේ කළොත් අපට ආර්ථික හානිය අවම කරන්න පුළුවන්.

රජයේ යුතුකම ජන ජීවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් ජීවිත ආරක්ෂා කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

ඉකුත් සතියේද රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

Social Sharing
නවතම