හිටපු අග විනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ජාත්‍යන්තර විරෝධතාවක්!

ජාත්‍යන්තර නීති සම්පාදනය සම්බන්ධ වගකීම් දරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමට 2023 ජනවාරි සිට අවුරුදු පහක් සඳහා සාමාජිකයන් තෝරා ගැනීමට මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඡන්දය විමසීමට නියමිතය. සමස්ත සාමාජික මණ්ඩලයේ 34ක් අතරින් අට දෙනකු තෝරා පත් කරගනු ලබන්නේ ආසියා ශාන්තිකර කලාපීය රටවල්වලිනි.

ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් නම් කර ඇත්තේ මොහාන් පීරිස්ය. ඔහු දැනට නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයාය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් කර ඇති නාම යෝජනාව හෙලා දකින සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) “රටේ ප්‍රධාන නීති නිලධාරියා වශයෙන් සිටියදී සිදුකෙරුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඝාතන, වධබන්ධන සහ ලිංගික දූෂණ සිදුකළ අපරාධකරුවන් වගඋත්තරදායකත්වයෙන් බැඳ තැබීමට අසමත් වීම නිසා අවමානයට පාත්‍ර වූවකු” ලෙස චෝදනා ලබන මොහාන් පීරිස්ට ඡන්දය නොදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මහත් මර්දනයට ලක්වූ පාලනයක බලයේ සිටියකු වන ඔහුගේ නාම යෝජනාවට  විරුද්ධව නැගී සිටීම සඳහා සහාය දක්වන ලෙස JDS ලොව පුරා මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන වෙත විශේෂ ආයාචනයක් ද කර සිටියි.

“ජාත්‍යන්තර නීති සම්පාදනයේ යෙදෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමේ ඇතැම් මෑත කටයුතු අදාළ වූයේ මුක්තිය, උදර්පණය සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙනි. මොහුට ඡන්දය නොදෙන ලෙස සියලු නීතිඥයන්ද, වඩාත් යුක්ති සහගත ලෝක ධර්මතාවක් ගැන සැලකිලිමත් වන්නන්ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයන්ට බලකර සිටිය යුතුය,” යි සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ඒකාබද්ධ නිවේදනයකින්  ප්‍රකාශ කර තිබේ.

“පීරිස්ගේ ධූර සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් සිදුකරන ලද බවට චෝදනා කෙරෙන බරපතල ජාත්‍යන්තර ගනයේ අපරාධ සම්බන්ධයෙන් කිසිවකුත් වගකීමෙන් බැඳ නැත. ඔහු නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉහළම රාජ්‍ය දූතයා ලෙස පත් කර එවීම මගින් ශ්‍රී ලංකාව වගඋත්තරදායකත්වය සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ල පෙන්වන පිළිකුල් සහගහ සංඥාවක් මේවන විටත් නිකුත් කර ඇති අතර එය තවමත් යුක්තිය ළඟා වී  නැති දහස් සංඛ්‍යාත පීඩිතයන්ට එල්ල කළ අතුල් පහරකි,” යි ඇය වැඩි දුරටත් පැවසුවාය.

“මේ පුද්ගලයා, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හුදෙක් සිය රැකියාවේ යෙදීම නිසාම පැහැරගෙන ගොස්, අතුරුදහන්කොට, මරා දමා, කුරිරු වධහිංසා කොට, හිරේ විලංගුවේ ලන ලද සමයක බලයේ සිටි අයෙකි. ඔහුගේ මෙන්ම ඔහුගේ ආණ්ඩුවේත් වාර්තාවට සුදුහුණු ගෑමට ඉඩ සලසන රැකියාවකට ඔහු නම් කිරීමට විරුද්ධව ලොව පුරා මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන අප සමග සහයෝගීතාවෙන් නැගී සිටිය යුතුය,” යි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.

“ඒ මාධ්‍යවේදීහු ශ්‍රී ලංකා රාජ්‍යය විසින් කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර නෛතික මැදිහත්වීමක අවශ්‍යතාව තහවුරු කළ විශ්වසනීය සාක්ෂි හෙළිදරව් කළ අය වෙති. ඔවුන්ට යුක්තිය යුක්තිය ඉටුකිරීම ප්‍රතික්‍ෂේප කළ අයකු  ජාත්‍යන්තර නීතිය පිළිබඳ තීරණ ගන්නා ජගත් මණ්ඩලයකට පත් කිරීම නරියකුට කුකුළන් බාර දෙන්නා හා සමානය.”

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හිටපු අගවිනිසුරු හා නීතිපති මොහාන් පීරිස්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුත්තේ ඇයිදැයි කරුණු දක්වමින් ITJP සහ JDS විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.

https://itjpsl.com/assets/press/ITJP_JDS_on_mohan_peiris_Sinhala.pdf

Social Sharing
නවතම