ජනාධිපතිතුමනි, පෞද්ගලික අංශයේ සිටින ගැබිණි මව්වරුන්ටත් අවධානය යොමු කරන්න!

කොවිඩ් තෙවැනි රැල්ල ලෙස ව්‍යාප්ත වන නව වෛරස් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට ඉතාම අනතුරුදායක බව මේ වන විට මුලු රටම දන්නා කරුණකි.

ඊයේ (09) වන විට මෙරට කොවිඩ් ආසාදිතව ගැබිණි කාන්තාවක් ගාල්ල – කරාපිටියේදී මිය ගියාය. ඒ අනුව මෙරටින් ගැබිණි මව්වරු දෙදෙනෙකුගේ මරණ වාර්තා වී ඇත.

සෞඛ්‍ය අංශ පවසන ආකාරයට මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් 150 කු පමණ සිටියි. එසේම කොවිඩ් ආසාදිත බිළිඳුන්  70 ක් පමණ ද සොයිසා රෝහලේ සිටියි.

පවතින තත්ත්වය හමුවේ ගර්භණී මව්වරුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල ගර්භණී කාන්තාවන් සේවයට කැඳවීම තාවකාලිකව නතර කිරීමට  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ සඳහා චක්‍ර ලේඛයක් අද නිකුත් කිරිමට නියමිතය.

එසේම ගැබිනි මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් සඳුදා වන විට මෙම තීරණය දැනුම් දීමට හැකිවනු ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ගැබිණි මව්වරුන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති මේ පියවර අගය කළ යුතුය. නමුත් මෙහිදී පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගැබිණි මව්වරුන් ගැනත් අවධානය යොමු කළ යුතුව ඇත. විශේෂයෙන් පෞද්ගලික අංශයේ කිසිදු පහසුකමක්වත් නොමැතිව, පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් රැකියාවට යන විශාල ගැබිණි මව්වරුන් පිරිසක් සිටියි.

ඔවුන්ද මෙලොවට බිහි කරන්නේ දරුවන්ය. ඒ මේ රටේ අනාගතයයි. මේ අවස්ථාවේ පෞද්ගලික අංශයේ ගැබිණි මව්වරුන් සේවයට නොයා සිටියහොත් එය ඔවුන්ගේ රැකියාවට බලපානු ලබයි. නමුත් රජය මැදිහත්ව ඔවුන්ටද රාජ්‍ය අංශයේ මෙන් සහනයක් ලබා දුන්නහොත් ඔවුන්ගේ රැකියාවද, සෞඛ්‍ය තත්ත්වයද ආරක්ෂා වනු ඇත.

-ශානි-

Social Sharing
නවතම