“ජනාධිපති සමාව” ජනතාව වදහිංසාවෙන් මුදවා ගැනීමේදී අයහපත් ලෙස බලපානවා

සුනිල් රත්නායක නිදහස් කිරීම මොනතරම් යුක්ති සහගතද යන ප්‍රශ්නය මේ සමාජයේ දිගහැරී ඇති බවත් මේ රටේ ජනතාව වදහිංසා වලින් මුදවා ගැනීමේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය වැදගත් වන අතර නැතිනම් එය ජනතාවට අයහපත් ලෙස බලපාන බවද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

සුනිල් රත්නායක පහුගිය යුද සමයේ කුඩා දරුවන් ඇතුලු දෙමළ පුද්ගලයින් අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙක් බවද ඔහු කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ විධායක ජනාධිපතිවරුන්ට යම් පුද්ගලයෙකුට සමාව දීමේ බලයක් ඇති බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ පහුගිය කාලයේ සුනිල් රත්නායක කියන තැනැත්තා ජනාධිපතිවරයා නිදහස් කළේ තමන්ගේ බලය පාවිච්චි කර බවය.
අධිකරණයේ නඩු විමසා ඒ නඩු අභියාචනාධිකරණයට ලක් වී ඉන්ද පෙර තීන්දුවම ලැබුණු පසුබිමක ජනාධිපතිවරයා තමන්ට ලැබුණු බලයෙන් මොහුව නිදහස් කළ බවද හෙතෙම කියා සිටියි.

බන්ධනාගාර වල සිදු වන වදහිංසා වලදි ඒ නියම තතු ඒ සෑම අවස්ථාවකම යට යන බවත් විශේෂයෙන් යම් රැඳවියෙක් වදහිංසාවට ලක් වු විට කිසිවෙක් සාක්ෂි ලබා දීමට ඉදිරිපත් නොවන බවද ඔහු කියයි.
එසේ සාක්ෂි දීමට ඉදිරිපත් වන අයටත් නැවත ඒ බන්ධනාගාරයේම සිටීමට සිදු වන නිසා ඔවුන්ට තමන් දුටු දේවත් පැවසීමට නිදහසක් නොලැබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.

මෙය බන්ධනාගාර ක්ෂේත්‍රය පුරාම ඇති අවාසනාවන්ත තත්ත්වයක් බව සඳහන් කරන ඔහු කියා සිටින්නේ අද වෙනදටත් වඩා බන්ධනාගාර සිද්ධීන් ගැන කථා කරන බවය. ජනාධිපතිවරයා වචන 10 ක් කථා කළොත් ඉන් වචන 6 ක්ම බන්ධනාගාරය ගැන බවත් ඒ නිසා බන්ධනාගාර වල සිදු වන වදහිංසාව සම්බන්ධයෙන් මෙන්ම ඒවා නැවැත්වීමට අවශ්‍ය පියවර ගරනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද නීතිඥ සේනක පෙරේරා මහතා කියා සිටියි.

මේ වදහිංසාවන්ට ලක් කරපු පුද්ගලයින් අද විවිධ විත්තිවාචිකයන් ඉදිරිපත් කරමින් තමන් කරපු අපරාධ වලින් බේරීමට දේශපාලනයත් සමඟ එකතු වෙලා කටයුතු කරන ප්‍රවණතාවයක් මතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි. පහුගිය කාලයේ විවිධ අපරාධ වලට සම්බන්ධ වු පිරිස් අද ඒවා දේශපාලන පළිගැනීම් මට්ටමකට සිදු වු බවට හඟවමින් සිටින බව ඔහු කියයි.
යම්කිසි රටක අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට කෙනෙකුට නොහැකි නම් එය භයානක තත්ත්වයක් බවද එයින් හැඟවෙන්නේ රටේ නීතිය පාලනයක් නොමැති බවද ඒ මහතා පවසයි.
ඒ නිසා ජනතාව මේ සම්බන්ධයෙන් සංවිධානය වී ඉදිරියට පැමිණ හෙට දවසේ කටයුතු කිරිමේ අවශ්‍යතාය තමන් දකින බවද ඔහු අවධාරණය කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වදහිංසාවන්ට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තේන් ඊයේ (26) දින කොලඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව වදහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම