යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!

යුද්ධයෙන් මියගිය  දෙමළ ජනයා  අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව  අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසිනි.

මලින් සහ ආලෝකයෙන් පුද පූජා පවත්වා අභිනව මුල්ලිවයික්කාල් ස්මාරකය විවෘත කිරීමෙන් පසු අදහස් දක්වමින් ශිෂ්‍ය සංගම් නායකයා අවධාරණය කර සිටියේ මෙම ස්මාරකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහජනතාව, ඩයස්පෝරා සාමාජිකයන්, මුස්ලිම් ප්‍රජාව, විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු බොහෝ දෙනෙක් සහාය ලබා දුන් බවයි.

මෙම ස්මාරකය තුළින් දෙමළ ජනයාගේ  පැවැත්ම සහ  ඔවුන්  අත්විඳි දුක්ඛිත අත්දැකීම් නිරූපණය වන බවත් ඔහු සදහන් කර තිබුනි.

සෑම ජාතියකටම තම මළවුන් සිහි කිරීමට අයිතියක් පවතින බව පෙන්වා දෙන ශිෂ්‍ය සංගම් නායකයා එහිදී බලධාරීන්ට අවධාරණය කර තිබුනේ මෙහි ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාවක් නොමැති බවයි.

යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය කඩා බිඳ දැමීමට මුල්වී තිබුනේ එම සරසවියේ  උපකුලපතිවරයාය.

යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සන්නද්ධ හමුදා සහායෙන් ජනවාරි  8 සිකුරාදා රාත්‍රි යාමයේ කඩා බිඳ දැමීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු  එම ස්මාරකය යලි ඉදි කිරීම වෙනුවෙන්  යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති එස්. ශ්‍රී  සත්ගුණරාජාම  ජනවාරි 11 සදුදා දිනයේ මුල්ගල් තැබීමට පියවර ගෙන තිබුනි.

Social Sharing
නවතම