සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්!

ප්‍රගීත් රත්නායක 

සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම් ඇන්දට ආහාර ගත්තට රමණය කරාට වැඩක් නෑ අපේ මේ සංස්කෘතික තත්ත්වය අපි තුළ නැත්නම්. වංශයෙන් නෙමේ අපේ නරුමවාදය පටන් ගන්නේ අපි තුළ සිටින සංස්කෘතික ජීවියා අහිමි වීම තුළින්. අපේ මේ ළඟම කෙනා මගහැරෙන්නේ සංස්කෘතික ජීවිතය මොකක් හෝ හේතුවක් උඩ. මෙය ධනවාදය කරපු වැඩක් හැටියට තමයි මේ මොහොතේ ඉස්මතු වෙන්නේ. එය ගෝලීය වශයෙන් අර්ථකථනය කරාට දේශපාලනමය තත්ත්වයන් යටතේ රාජ්‍ය යාන්ත්‍රණය යටතේ අපේ සංස්කෘතිය යම් ආකාරයකින් හකුළුවාගෙන තියෙනවා, දැන් අපි මේ සාකච්ඡාව කරන්න නිදහස් අවකාශයක් වුණ නිදහස් චතුරස්‍රයට ආවා, එහෙම ආවාම අපිට පේනවා තියෙන නිදහසත් අපිට නැති වෙලා නේද තියෙන්නේ කියලා.

වෙළඳපොළ

වෙළඳපොළ ඇවිල්ලා අපේ සංස්කෘතික ජීවිතය උදුරගෙන වෙන විනෝදයක් අපට දීලා අපේ ළඟම කෙනා මග හරවනවා, ඉතින් ඕකට සිහියෙන් අපි මුහුණ දුන්නේ නැත්නම් අපිට සංස්කෘතික ජීවිතයක් කෙසේ වෙතත් මෙන්න මේ ඡීව විද්‍යාත්මක ශරීරයත් ඉවර වෙනවා. ඒක ඉවර උනාට පස්සේ ඉතින් මුකුත් නැහැ. එනම් අපේ මේ ජීව විද්‍යාත්මක ශරීරයට තමයි අපේ මේ අනිකුත් ශරීර සියල්ල කාන්දු වෙලා තියෙන්නේ. ඒක දරාගන්න මේක නිරෝගිමත්ව තියෙන්න ඕනි. දැන් අපිට ලොකු හිස්කමක් දැනෙනවා, සමාජය ඒක හදනවා, ඉතින් සංස්කෘතිකව අපි හිස් උනාට පස්සේ මගේ ඉස්සරහ ඉන්න කෙනාව මට අදාළ වෙන්නේ නැහැ. මම තවදුරටත් හොයන්නේ පවතින ශරීරයක් විතරයි, මට මනසක් ඕනේ නැති වෙලා තියෙනවා, සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්.

ආදරය

ආදරය හා ලිංගිකත්වය කියන විෂය මනුෂ්‍යයන්ගේ හැඟීම් ඇතුළෙ සංවිධානය වන ලොකු මෙවලම් දෙකක් නේ, ඉතින් ඕවට මේ කතා කරන නිදහස් සීමාවීම සංස්කෘතික බලහත්කාරකම නැතිනම් ධනවාදය පොළා පැනීම කියන දෙය, මේවගේ ගොඩක් දේවල් ඇතුලේ අපි යම්කිසි විශ්වාස පද්ධතියක් ඇතුලේ සාරයක් ඇතුලේ නඩත්තු කරපු දේවල් අභියෝගයට ලක් වෙනවා. ඉතින් එය ඇතුළෙම තමයි ආදරය කියන දෙයත් අපිට නිර්වචනය කර ගන්න වෙන්නේ. මේක නිර්වචනය කරගන්න අමාරු වෙන්නේ සමකාලීනව, එම නිසා අපි එයට 70 80 දශකයේ තියෙන දේ ගළපන්න උත්සහ කරනවා. නමුත් එය ප්‍රායෝගික වෙන්නේ නැහැ මොකද ඒ දෙක අතර ලොකු හිඩැසක් තියෙනවා.  එනම් අපිට නොස්ටැල්ජියානු තැනකින්ම මේ දේවල් මේ මොහොතට ගලපගන්න අමාරුයි. නමුත් මේ මොහොතට කියවගන්න ඒ ප්‍රමාණවත්. මොකද ඒ තත්ත්වයන් දෙක ඇතුලේ වෙනස් අර්ථයන් තියෙන්නේ. ආදරය සුන්දරයි කියලා ගත්තට එය මේ කාලයට ගැලපෙන්නේ නැහැ. මේ මොහොතේදී ආදරයේ භාෂාව අහිමි වෙලා තියෙනවා. ආදරයේ භාෂාව තේරෙන්නේ නැහැ. එනම් ආදරයේ උණුහුම කෙනෙකුගේ නැතිනම් කෙනෙකුගේ body language එක මගහැරිලා තියෙනවා. ඒ තරමට අපි ශික්ෂණය වෙලා නෑ, අනිකාව දරාගන්න ආදරේ ඇතුලේ. යාලුකම් ඇතුලෙ වුණත් දැන් අපිට අනෙකාව දරාගන්න බැරිවෙලා, එනම් අනෙකාව දැනෙන්නෙ නැති තේරෙන්නෙ නැති තැනකට අපි නිර්වින්දනය වෙමින් තියනවා. ආදරේ පරිත්‍යාගයක් කියන එක, අනෙකාට ඉඩ දෙනව කියන එක, මේ මොහොතේ අපෙන් ගිලිහෙමින් යනවා. නිසියාකාරව ආදරය මොකක්දැයි කීමට අපේ භාෂාව අසමත් වෙලා තියෙනවා . එයට සමාජ සැකැස්ම මෙන්ම ආර්ථික සැකැස්ම ද බලපානවා, නැතුව එය ඉබේම සිද්ධ වෙන දෙයක් නෙවෙයි.

දේශපාලනය

ක්ෂුද්‍ර දේශපාලනය හා මහා දේශපාලනය කියන මේ ක්‍රියාවලිය ඇතුලේ සැවොම මහා දේශපාලනේට තමයි ඇඟිල්ල දික් කරන්නේ. ඒ වගේම තමයි අපිට විමුක්තිය හම්බ වෙන්නේ කියලා නමුත් ඇත්තටම ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ටවත් කලාකාරයෙක්ටවත් හම්බවෙන විමුක්තියක් නැහැ. එය සූත්‍ර ගත කරපු යාන්ත්‍රණයක්, ඒ යාන්ත්‍රණය ඇතුලේ පුටුමාරු වෙනවා, පුද්ගලයෝ මාරු වෙනවා, පාට මාරු වෙනවා මිසක සමාජය මාරු වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තොත් දේශපාලනය කියන්නේ සමාජය වෙනස් කිරීමනේ, ඒ අනුව සමාජය වෙනස් කිරීම කියන කාරණාව තුළදී පුද්ගල චින්තන ලෝකය අතිශය වැදගත්, ඒ චින්තන ලෝකය තුළ අපට ගරිල්ලා ප්‍රහාරයක් ගහන්නේ නැතුව සමාජයක් වෙනස් කිරීම කරන්න බැහැ. මේ පක්ෂයකට එය පවරලා අපිට නිකන් ඉන්න බැහැ පුද්ගලයෝ හැටියට සහ කලාකාරයො හැටියට. කලාකරුවා කියන්නේ සමාජයේ එක් කුලකයක් විතරයි.   එහිදී කලාකාරයෝ සිහියෙන් ඉදිය යුතුයි. ඒ වගේම කලාකරුවා සාමාන්‍ය ජනයාට වඩා ටිකක් වෙනස් ආකාරයෙන් ගනුදෙනු කරන පරිකල්පන ශක්තියක් ඇති පිරිසක්.  නමුත් කාටවත් ඕනි ආකාරයට තමන්ගේ ආකල්ප මෙහෙය වනඅය කලාකාරයෝ වෙන්නෙ නෑ. ඒ අනුව රජය කාලාකාරුවන් නඩත්තු කරන්න ඕනි කියන එක ගත්තොත්, ඇත්තටම රජක් ජනතාවට වඟ කියන්න ඕනි.  මුළු සමාජයටම යමක් කෙරෙන්න ඕනි ‍රජය පැත්තෙන්, කලාකරුවා කියලා ඒක වර්ග කරන්න ඕනි කියාලා මම හිතන්නේ නෑ. ඒ අනුව සමාජීය අර්ථයෙන් සමස්ත සමාජය දෙසම බලන්න ඕනි නැතුව පුද්ගලික දේවල් සඳහා රජය පෙනී ඉන්න ඕනි කියලා මං හිතන්නේ නෑ.

මම

මම විශ්වාස කරනවා චිත්‍ර ශිල්පියෙක් හා මනුෂ්‍යයෙක් විදිහට එකවර මම මේ සමාජයේ හුස්ම ගන්නවා කියලා. ඉතින් ඒ හුස්ම ගැනීම සවිඤ්ඤාණික ක්‍රියාවලියක්. එයින් කියවෙන්නේ නෑ හිත හිත හුස්ම අශ්වාස කරනවා කියලා, මම කියන්නේ මේ සමාජයේ, මේ භූමිය නැතිනම් මේ මහාපොළොව තුල එහා මෙහා යාම සිහියෙන් කරනවා කියන දෙයයි මට අවබෝධ කරන්න ඕනි උනේ. එනම් මට මේ වෙන සිදුවීම් කිසිවක් අහිංසක නෑ. මොකද ඒ අර්තයෙන් ගත්විට මට අහිංසක ලෙස චිත්‍ර අදින්නත් බැහැ සහ අහිංසක ලෙස සිතන්නත් බෑ. මොකද නරුම සමාජයක් ඇතුලේ එහෙමත් නැතිනම් යම්කිසි යාන්ත්‍රණයක් ඇතුලේ මිනිස්සුන්ව එක්තරා තැනකට රාමු කරද්දී මට හිතෙන්නේ නිදහස් මනුස්සයෙක් හැටියට අපි ලොකු අනතුරක ඉන්නවයි කියන එක. මම විශ්වාස කරන්නේ මේ භූමියට අදාලව මේ මොහොත තේරුම් ගැනීමේ දී, නරුම විදිහට ඉතා භයංකර විදිහට, චිත්‍රයක් අපෙ ඉස්සරහා තියනවා. ඒ වගේම ඒකට අපෙ භූමිය තුලම මෙවලම් හුගක් තියනවා. ඉතින් අපි මේවා සංස්ලේශනය කරගත්විට මිනිස් චින්තනය ඇතුලේ අපිව හෙල්ලෙනවා. එහම නැත්තම් කම්පනයට ලක් කරනවා, ඒක දනෙන්න අපි පොඩ්ඩක් පොළොවට බර තියලා ඇවිදින්න ඕනේ. එත්කොට තමයි එය අසුවෙන්නේ, ඒ අසුවීම ඇතුලේ මගේ මේ විශ්වාස පද්ධතිය ගොඩනැගෙන්නේ මට මෙයින් ඉවත් වෙන්න බැහැ කියනන එක. ඉතින් ඒ චින්තන ප්‍රර්ශදය ඇතුලේ යම්කිසි දෙයක් අභිමුඛ වෙලා තියනවා. අන්න ඒ දෙය සමහර විට හැගවුම් කරගන්න පුලුවන් වෙනවා. සමහර විට බැරි වෙනවා. ඉතින් මේ මොහොතේ දී ඒකත් සමඟ මම හිතමින් ඉන්නකොට මගේ දෘශ්‍ය රූප හැදෙන්නේ මම මේ තේරුම් ගනිමින් ඉන්න සමාජ මොහොතට සාපේක්ෂව. එවිට එය මම හිතන්නේ දේශපානිකයි. අන්න ඒ හුස්ම ගැනීමත් දේශපාලනිකයි කියන එක ඇතුලේ මම චිත්‍රයේ භාශාවට ඇතුලු වෙන්නේ දේශපාලනික මුවහතත් එක්ක, ඒ අනුව තමයි මම මගේ චිත්‍ර හසුරුවන්නේ, එහිදී මගේ චිත්‍රය එක්තරා දේශපාලනික වැඩබිමක්, නමුත් එයින් කියවෙන්නේ නැහැ මාහා පරිමාණයෙන් සමාජය කලබන්න පුලුවන් චිත්‍ර මම හදනවා කියලා, නමුත් ඒ තේරුම්ගැනීම මට තියනවා.

Social Sharing
නවතම විශේෂාංග