කාදිනල්ට ගුරුවරුන්ගෙනුත් දෝස්මුරයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරය දේශපාලන බලය ශක්තිමත් කරගැනීම සඳහා ගසන ලද්දක් යයි කරන ලද ප්‍රකාශයක් ආපසු හැරවීමට උත්සාහ දැරීම නිසා උභාතොකොටිකයකට මැදි වී සිටින මැල්කම් රංජිත් කාදිනල්වරයා පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධයකට මුහුණ දී සිටී.

කතෝලික පාසල් අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් ප‍්‍රකාශ  කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් විධිමත් අවසරයක් ලබාගැනීමෙන් තොරව බව දිවයිනේ ප්‍රමුඛ ගුරු සංගමයක් අනාවරණය කර තිබේ.

ලංකාවේ පාසල් වර්ගීකරණයට අනුව කතෝලික පාසල් යනුවෙන් පාසල් වර්ගයක් නැති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ “අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අප්‍රේල් 21 වසා දමන බව ප‍්‍රකාශ කිරීම බරපතල ගැටලූකාරී තත්වයක්,” බවයි.

“කාදිනල්වරයා ප‍්‍රකාශ කර ඇති පරිදි අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන පාසල් අතර රජයේ ආධාර ලබන උපකෘත පාසල් වේ. මෙම පාසල් 1960 අංක 5 සහ 1961 අංක 8 දරණ පනත් මගින් රජයට පවරා ගන්නා ලද පාසල් වේ,” යනුවෙන් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

“එසේම එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේ ද අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. පවතින ප‍්‍රතිපාදන වලට අනුව මෙම පාසල්වල පාලනය හා කටයුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක‍්‍රලේඛවලට අනුව සිදුවේ.  මෙම පාසල්වල පාලනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  වෙනම අංශයක් ද පවතින අතර, ඒ සඳහා අධ්‍යක්ෂවරයෙක් යටතේ කාර්ය මණ්ඩලයක් ද කටයුතු කරයි. මෙම තත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අප්‍රේල් 21 වසා දමන බව ප‍්‍රකාශ කිරීම බරපතල ගැටලූකාරී තත්වයකි.”

මීට ඉහතදී ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නිවාඩුව අප්‍රේල් 9 දින සිට ප‍්‍රකාශයට පත්කර තිබියදී කාදිනල්වරයා විසින් කතෝලික පාසල් අප්‍රේල් 5 සිට නිවාඩු ලබාදෙන බව ප‍්‍රකාශ කිරීම සහ පාසල් නිවාඩු ලබාදීම ද ගැටලූකාරී වූ බවද ලංකා ගුරු සංගමය සිහිපත් කර දෙයි.

Social Sharing
නවතම