දැන් ආණ්ඩුව හතර පස් දෙනෙකුගේ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන මම තරම් පුද්ගලයෙක් නැහැ. මම එහෙම කියන්නේ කියන්න 1966 ඉඳලා අද දක්වා මම සෞඛ්‍ය අංශ සමග ඇලීගැලී හිටපු පුද්ගලයෙක් නිසා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දුර්වලකම් ගොඩක් තිබුනා ඉස්සර. සේවකයින්ට කිසිම ප්‍රශ්නයක් විසඳා ගන්න බැරුව හිටිය. හැමදේටම අල්ලස් දෙන්න සිදු වෙලා තිබ්බා. මේ ඔක්කොම දශක ගණනකට ඉස්සර. අපි මේවට විරුද්ධව කටයුතු කරලා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩගත්තා. අද අපිට ඇතිවෙලා තියෙන්නේ පරිපාලනයේ දුර්වලතා. ඒ වගේම වගකීම් හරියට ඉටු කරන නැති අයවලුන් නිසා ඇතිවන ප්‍රශ්න. මීට පෙර සියලුම දෙනා අධ්‍යක්ෂක ජෙනරාල්වරු, වෛද්‍යවරු, හෙදියෝ වගකීමෙන් සාමකාමීව තමන්ගේ වැඩ කොටස අකුරටම ඉටු කළා. වර්තමානයේ දී අපි එක ප්‍රශ්නයක් ඔවුන් වෙත ගෙන ගෙන ගියොත්, නැවත එම ප්‍රශ්නය සිය පාරක් විතර ගෙනියන්න වෙනවා විසඳ ගන්න. මේවා ආණ්ඩුවේ විතරක් නෙමෙයි සේවකයින්ගේ වැරදි.

මිනිස්සු හිතනවා මම ආණ්ඩුවට බනිනව කියල, නමුත් මේ බනිනවා නෙවෙයි ඕනෙම කෙනෙක්ගේ වැරදි දෙයක් පෙන්නලා ඇඟිල්ල දික්කරලා කතා කරන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. 1966 ඉඳලා වර්තමානය දක්වා බැලීමේදී අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න නිරාකරණය නොකරගත්තොත්, පරිපාලනය දුර්වලකම් හදා නොගත්තොත්, පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට මෙය ගොඩගැනීම එතරම් පහසු දෙයක් නෙවෙයි.  මේ ප්‍රශ්නය ශිවා ඔබේසේකර මහත්මයගෙ කාලෙ වගේම, රේණුකා හේරත් මහත්මියගෙ කාලෙත් පැවතුනා. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා සහ තව පස්සේ ආපු ඇමතිවරුන්ගේ කාලෙත් මේ ප්‍රශ්නය පැවතුනා. රාජිත සේනාරත්න ඇමතිතුමාගේ කාලෙත් මෙය පැවතුනා නමුත් ඔහු වෛද්‍ය සංගමය කියන දේවල් ඇසුවෙ නෑ, එය නිසා ඔහුට කැපිල්ල ආවා. හැබැයි ඔහු වෛද්‍යවරුන් සමග හැප්පෙමින් උනත් විශාල වැඩකොටසක් කළා. පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හොඳ තත්ත්වයකට ගන්න උවමනාවක් තියෙනවා නමුත් ඇය වඩාත් අවධානය යොමු කරන්නේ වෛද්‍ය සංගමයේ අදහස්වලට. එතුමිය තවදුරටත් වෛද්‍ය සංගමය කියන විදිහට නටන්න ගියොත් මේ ප්‍රශ්න තවත් උග්‍ර වෙයි.

වෛද්‍ය ඒකාධිකාරය

මේ ඒකාධිකාරය අදක ඊයෙක පටන් ගත දෙයක් නෙවෙයි. ඒත් එක කාලෙක බාලසිංහම් කියන ලේකම් කෙනෙක් හිටිය ඔහුගේ කාලයේ නම් මේ එක අධිකාරියක්වත් තිබුණේ නැහැ.  ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලයේ මාත් ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති සමගිව කටයුතු කළා. කිසිම අයෙකුට බලපෑම් කරන්න ගියේ නැහැ.  ඒ වගේම සිරිමා මහත්මයාගේ දේහය මෙහෙ තැන්පත් කරන්න නොදුන්න එකට අපේ හඬ නඟලා ඒ අයිතිය ලබාගත්තා. ඒකට සුනිල් රත්නප්‍රිය වෛද්‍යවරයා වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා රාජිත සේනාරත්න ඇමැතිතුමා වගේ අය ලොකු වැඩ කොටසක් කළා. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද වෛද්‍ය සංගමය තනි ගමනක් තමයි යන්නේ.

රටේ සම්පත් විකිණීම

අභයාරාමයේ, දේශීය සම්පත් විකුනා දැමීමට එරෙහි ව්‍යාපාරය කියන පුවරුව තාම තියනවා. මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මිනිස්සු බහුතර කැමැත්ත ඔබට දුන්නේ නැවතත් රට විකුනන්න නෙවෙයි. ආයෝජකයා අවට කමක් නෑ නමුත් සම්පත් විකුණලා ආයෝජකයෝ ගෙන්න ගන්න එපා. 49% 50% කියලා සම්පත් විකුණන්නෙ නැතුව ආයෝජකයෝ ගෙන්නගෙන රට සංවර්ධනය කරන්න කියලා මම ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.  සුදුසු පුද්ගලයන් ගෙන් උපදෙස් නොගෙන තමන්ගේ හිතුමතයට කටයුතු කරලා වැඩ කිරීමේදී සමහරවිට ජනාධිපතිතුමා අපකීර්තියට පත් වෙන්න පුළුවන්. ඒනිසා එතුමා බලයට ගේන්න විශාල වැඩකොටසක් කරපු අපි එතුමාට කියන්නේ හිතලා බලන්න කියලා. අපි ඉන්දියාව තරහා කරගන්න ඕනී නෑ. ඔවුන් අපේ අසල්වැසි‍යා. බුදුන් ඉපදිච්ච රට. නමුත් එහෙම කියලා අපි ඉන්දියාවේ කියන කියන දේට ඔළුව නමන්න අවශ්‍යතාවයක් නැහැ. තුනෙන් දෙකක් බලය ලබා දීලා මිනිසුන් ඡන්දය දුන්නේ රටේ සම්පත් ආරක්ෂා කරයි කියන විශ්වාසයෙන්. නිසා ඒ විශ්වාසය රකින එක ආන්ඩුවේ යුතුකම.

දැන් ආණ්ඩුව හතර පස් දෙනෙක්ගේ

ආණ්ඩුව ගේන්න දාඩිය බින්දුවක්වත් හෙලපු නැති අය දමයි අද ජනාධිපතිවරයා ළඟට වෙලා ඉන්නෙ. නැව ගෙනියන කපිතාන් ගෙන් සුළු වැරැද්දක් වුනොත් නැව කොහේ යයිද දන්නේ නෑ. ඒ වගේ මම කියන්නේ ඝෝටාභය ජනාධිපතිතුමා නිවැරැදි අයගේ උපදෙස් ලබා ගෙන කටයුතු කළොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම පුදුම ජනාදරයට ලක් වෙයි. නමුත් මේ යන විදිහ ගැන අපි සතුටු නැහැ කියන එක අපි ජනාධිපතිතුමාට කියන්න ඕනෑ. බලන්න හැමතැනම ප්‍රශ්න. කඩාවැටීම්. කවුරුවත් දැනෙන වැඩක් කරනවා පේන්නේ නැහැ. අද අපිට ජනතාව අහන ප්‍රශ්නවලට දෙන්න උත්තරයක් නැහැ. ජීවන වියදම ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නැහැ. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි නමුත් මට මිනිසුන්ගේ දුක්ගැනවිලි හොඳින් තේරෙනවා. මේකට හරි සැලැස්මක් ඕනේ. නිසි සැලැස්මක් නැතිව ජනතාවගේ අවශ්‍යතාවය ට පිළිතුරු නැහැ. මේ නිසා තමයි ගෝඨාභය ජනාධිපතිතුමා ගැන ජනතාව කලකිරිලා සිටින්නේ.

Social Sharing
නවතම විශේෂාංග