අවුරුදු සමයෙන් පසු කොවිඩ් තෙවැනි රැල්ලක් එපා! –  වෛද්‍ය පද්මා ගුණරත්න

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු තවත් කොවිඩ් 19 රැල්ලක් ඇති වීම  වළක්වා ගැනීම ජනතාව සතු වගකීමක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරතන මහත්මිය පවසයි.

ලෝකයේ රටවල් වල කොවිඩ් වසංගතය පාලනය වී තිබු නමුත් යළි එය හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි පෙන්වා දෙන ඇය පවසන්නේ ඊට ආසන්නතම නිදසුන ලෙස ඉන්දියාවේ කොවිඩ් රෝගීන් දිනකදි ලක්ෂය ඉක්මවා යාමය.

ඒ නිසා ලංකාවේද යළි කොවිඩ් අවදානමක් මතු නොවීමට නම් අවුරුදු සමය තුළ ජනතාව විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඇය පවසයි.

අවුරුදු සමයට අයත් නිවාස තුළ සිදුකෙරෙන සංස්කෘතික කාරණා වලට බාධාවක් නැති නමුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී ලබා දී ඇති උපදෙස් අනිවාර්යයෙන් අනුගමනය කිරිම,  දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිලිවෙත් අනිවාර්යෙන් අනුගමනය කළ යුතු බව ඇය අවධාරණය කර සිටියි.

එසේම මේ අවුරුදු සමය තුල එකට එකතු වීම වළක්වා ගැනීම තමයි ඉතාම වැදගත් බවත්  නිවෙස් අතර ආහාර හුවමාරුවත් සිදු නොකරන ලෙසද ඇය ඉල්ලා සිටියි.

සාප්පු සවාරි යාමේදී, පොදු ප්‍රවාහනය භාවිතා කරන යත් දැඩි සැලකිල්ලකින් පසු විය යුතු බවත් මේ මොහොතේ සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරියොත් රෝග ව්‍යාප්තිය ඉතාම වැඩි වී  සංකූලතා සහිත රෝගීන් වැඩිවීමෙන් අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි වන්නට පුලුවන් බවද වෛද්‍යවරියා අවධාරණය කර සිටියි.

මෙය වළක්වා ගත හැකි රෝගයක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ  චීනය මෙය පාලනය කළේ සෞඛ්‍ය උපදෙස් හරියට අනුගමනය කිරීම නිසා බවය.  එසේම එන්නත ලබා ගැනීම වැදගත් බවත්  අපිට ලැබුණු පළමු එන්නත වන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ උපයෝජනය ප්‍රත්‍යක්ෂ වී ඇති බවත් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැති බවත් ඇය කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම