පාඨකයා නොමඟ යවන ජාතික පුවත්පත්!

අද ජාතික පුවත්පත් සියල්ල පාහේ ප්‍රධාන සිරස්තලය බවට පත් කර තිබුණේ ත්‍රිකුණාමලයේ අන්තවාදී කල්ලියක ගිණුමක රුපියල් කෝටි 100 ක් ඇති පුවතය.

එම පුවතට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී සංවිධාන ගිණුමකට වසර 4 ක් පුරා රුපියල් කෝටි 100 කට ආසන්න මුදලක් බැර වීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඩුබායි සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රහීම් නැමැත්තා විසින් මෙම මුදල් මෙලෙස වරින් වර බැර කර ඇත. මොහුගේ ගෝලයන් දෙදෙනෙකු කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පහුගිය 2020 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර ඒ අනුව මෙම තොරතුරු අනාවරණය වු බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

රටක ජනතාව පුවත්පත් බලන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරය වන තොරතුරු වලට වඩා වැඩි සත්‍ය යමක් දැන ගැනීමටය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා වල යන/ විද්‍යුත් නාලිකා වල යන  පුවත් සම්බන්ධයෙන් ජනතාවට වැඩි පැහැදීමක් නැත. ඒ නිසා පුවත්පත් පාඨකයා නිරතුරුවම බලන්නේ පුවත්පතෙන් වැඩි යමක් ලබා ගැනීමටය.

නමුත් මෙම ප්‍රවෘත්තිය වාර්තා කිරීමේදී අද (16) එක්තරා  දිනපතා පුවත්පතක්  වාර්තා කර තිබුණේ හාත්පසින්ම වෙනස් ආකාරයකටය. එනම් එහි සිරස්තලයේ සඳහන් වුයේ අත්අඩංගුවට ගත් මත් ජාවාරමා අන්තවාදීන්ටත් කෝටි 980 ක් දීලා යනුවෙනි.

මෙම සිරස්තලය පාඨකයා සම්පුර්ණයෙන්ම නොමඟ යැවීමකි. එමෙන්ම අනවශ්‍ය ලෙස ජාතීන් අතර අසමගිය, සැකය, අවිශ්වාසය ඇති කරවීමටද තුඩු දෙන්නකි. ප්‍රවෘත්තියේ සත්‍ය මුදල සඳහන්ව තිබියදී එය ප්‍රධාන සිරස්තලයේදී වෙනස් ආකාරයකින් දැක්වීම අහඹුවකින් සිදු වුවාද යන්න සැක සහිතය.

මන්ද ප්‍රවෘත්තිය ලිවීම, සංස්කරණය කිරිම, ටයිප් කිරිම, සොදුපත් බැලීම, පිටු දැමීම දක්වාම සිදුවන්නේ විශාල කාර්ය භාර්යයකි. නමුත් මෙම පුවත හරහා එම ක්‍රියාවලිය සිදුවුවා නම් මෙම වැරදීම සිදු විය නොහැක.

මෙමඟින් සිදු වන්නේ පුවත්පතේ විශ්වාසනීයත්වය පාඨකයාගෙන් ගිලිහී යාමය.

-ශානි-

Social Sharing
නවතම