අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නම් සදහන් කරමින් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කළ ප්‍රකාශය තහවුරු කළ හැකි සාක්ෂි නොපමාව ඉදිරිපත් කොට සැඟවුණු සත්‍ය සොයා ගැනීමට උපකාර කළ යුතු යැයි ඊයේ (11) කුණ්ඩසාලේ දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

නමුත් කිසිඳු අවස්ථාවක වත්මන් ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් සිදුනොකරන බව කී අමාත්‍යවරයා, තමන් සතු සාක්ෂි හා කරුණු ඉදිරිපත් කිරීම තුළින් පාස්කු සිද්ධිය කඩිනම් කිරීමට විශාල උපකාරයක් කළ හැකි යැයි ද කීහ.

මන්ත්‍රීවරයා කළ කථාව අනුව ඔහු සතුව සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇතැයි සිතිය හැකි යැයි කී අමාත්‍යවරයා, මෙරට දැවෙන ප්‍රශ්නයක් වන පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු සොයා ගැනීමට ද ඒ මහතා  උපකාර කරනු ඇතැයි  ද  කීවේය.

මන්ත්‍රීවරයා සතු කරුණු නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ඉල්ලනවා මිස මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමෙ ප්‍රතිපත්තියක් නොමැති බව ද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම යටත් විජිත සමයේ මෙරටින් එංගලන්නත වෙත රැගෙන ගිය ත්‍රිපිටක ඇතුලු පෞරණික පුස්කොල පොත් හා මෙරටට වැදගත් ඓතිහාසික මතකයන් යළි ලබා ගැනීම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික සාකච්ඡාවක් කරන බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම