උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!

මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරීමට උතුරේ යුද පීඩිත මව්වරුන් කටයුතු කර තිබේ.

කළු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින්  විරෝධතා පා ගමනක් ආරම්භ කර මුලතිව් නගරය මැදින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙක්  පැමිණ විරෝධතා දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් පැවැත්වු විරෝධතාවයේදී ඔවුන් ලක් රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටියේ වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙසයි.

සුදු පැහැති අඩි සිය ගණනක්  දිගු රෙදි බැනරයක කලු පැහැ අකුරින් සිංහළ, දෙමළ හා ඉංශ්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ඔවුන් සිය ඉල්ලිම් එහි සටහන් කර තිබුනි.

විරෝධතාවයට එක්ව සිටි එක්  දෙමළ මාතාවක් සිංහල බසින් මාධ්‍යවේදීන් හා පවසා තිබුනේ සිය සමීපතමයන් අතුරුදහන් වීමෙන් ඇති වු කඳුලු පිස දමා ගත හැකි වන්නේ දරුවන් සම්බන්ධයෙන් කුමන හෝ තොරතුරක් දන ගැනීමෙන් පමණක් බවයි.

“අපේ දරුවෝ කොහේද ඉන්නේ. කොහෙද නැති වෙලා ඉන්නේ. අපිට පොඩි ආරංචියක් හරි අපේ කනට ඇහෙන්න ඕනේ. එක්කෝ අපේ දරුවෝ අපේ අතට දෙන්න ඕනේ.”

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතින් එක රටේ,  එක අම්මාගේ දරුවන් බව අවධාරණය කරන  මහලු මාතාව එහිදී ප්‍රශ්න කර සිටියේ  දෙමළ ජනතාවට සැනසීමේ ජීවත් වීමට ඉඩ ලබා නොදෙන්නේ ඇයිද යන්නයි.

විරෝධතාවයට එක්ව සිටි මාරිමුත්තු සතිවේල් පියතුමා අවධාරණය  කළේ මෙවර  ජාත්‍යන්තර කාන්තා දිනය කලු දිනයක් මෙන්ම ශෝක දිනයක් ලෙසද නම් කරන බවයි.

“අතුරුදහන්වුවන්ගේ ඥාතීන්, මාපියන්, අක්කලා, මල්ලිලා, නංගිලා, අම්මලා එකතු වෙලා අද දිනයේදී ප්‍රකාශයට පත් කරනවා ජාත්‍යන්තර කාන්තා දිනය  කලු දිනය ලෙස, ඒ වගේම ශෝක දිනයක් ලෙස ඔවුන් ප්‍රකාශයට පත් කරනවා,” යි ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

Social Sharing
නවතම