වසර 5ක් තුළ පාසල් 194 ක් වැසේ.

පාසලක් වැසීම සිර ගෙවල් දහසක ඇරීමක් බව සමාජයේ ප්‍රකට කියමනක් ඇත. පාසලක් වැසීම සුළු වේලාවක් තුල කළ හැකි වුවද පාසලක් ගොඩනැඟීම එසේ කළ නොහැකිය. පාසලකින් කෙරෙන්නේ යහපත් පුරවැසියෙකු රටට දායාද කිරීමය.

අද ජනප්‍රිය පාසල් සංස්කෘතිය තුල පාසල් වර්ග කිරීමකට ලක්ව ඇති අයුරු දැකිය හැකිය.  මේ නිසා ගමේ පාසලත්, නගරයේ පාසලත් අතර වෙනස්කම් රැසක් ඇත්තේය. ගමේ සිටින පොහොසත් දෙමාපියන් උත්සහ ගන්නේ තම දරුවන් නගරයේ පාසලකට යැවීමටය. නමුත් එදිනෙදා ජිවත් වීමට වේලක් සොයා ගන්නා දුගී පවුල් වල දෙමාපියන්ට සල්ලි නොමැතිකමින් ඔවුන් සිය දරුවන් යවන්නේ ගමේ පාසලටය.

මෙහිදී ගමේ පාසලේ ළමයි අඩු වුවහොත් ඒ්වා වැසී යන තත්ත්වයට අද පත්ව ඇත. මෙය ඉතා ඛේදජනක තත්ත්වයකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019 වසරේ දත්ත වලට අනුව රජයේ පාසල් 10,165 ක් ඇත. ඉන් ජාතික පාසල් 373 ක් වන අතර පලාත් පාසල් 9792 කි.

මේ අතර ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් 5161 ක් මෙරට තුළ පවතින අතර, එම පාසල් රැසක ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු රැසක් මතුව ඇතැයි රජයේ ගිණුම් කාරක සභාවේදී පහුගියදා අනාවරණය විය.

ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම වූ රජයේ පාසල්වල කාර්‍ය සාධනය විමසා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වූ අවස්ථාවේදී මේ බව හෙළි විය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන බී.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, තිස්ස අත්තනායක, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් එක් වී තිබුණි

මෙහිදී ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම වූ රජයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලැස්මක් මාස 04 ඇතුළත සකසන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතාට දැනුම් දී ඇත.

මෙම පාසල්වල පවතින ජල ගැටලුව මෙන්ම වැසිකිලි ගැටලුව විසඳීම සඳහා කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී මතුවිය. පාසල් සඳහා නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් සම්පත් විෂමතාවක් මතුව තිබෙන බවද කාරක සභාව කීවේය.

පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහය, අධ්‍යාපන පරිපාලන විද්වතුන්ගේ අධික්ෂණය යටතේ කාලීනව සංශෝධන කළ යුතු බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අධ්‍යාපන බලධාරින්ට පැවසීය.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී දෙමාපියන්ගේ පාසල් සම්බන්ධයෙන් ඇති ආකල්ප වෙනස්වන පරිදි පාසල් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දුන්නේය.

පාසල් ආරම්භ කිරීම, වසා දැමීම හා නියාමනය සිදු කිරීම පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයට අනුගතව සිදු කළ යුතු බව කාරක සභාව මෙහිදි අවධාරණය කළ අතර  ජනප්‍රිය නොවන පාසල්වලට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමේදී එම මාරු නියෝග ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.

පාසලක විභාග ප්‍රතිඵල ශිෂ්‍යයින් ආකර්ශනය කර ගැනීමේ ප්‍රධාන නිර්ණායකයක් වන බැවින් මෙම පාසල්වල විභාග ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට අදාළ විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව පෙන්වා දුන්නේය.

සියලු පාසල් සඳහා අධ්‍යාපන පරිපාලන වාර්තාවක් තබාගත යුතු අතර, විවිධ ව්‍යාපෘති යටතේ මුදල් වෙන් කිරීමේදී එම වාර්තාව පදනම් කර ගැනීම යෝග්‍ය බවද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය.

2013 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ පාසල් 93 ක් සිසුන් නොමැතිවීම, රටේ පැවැති වතාවරණය හා වෙනත් හේතු මත වසා දමා තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 2018 වසර තුළදී පමණක් වසා දමා තිබු පාසල් සංඛ්‍යාව 101 කි.

ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම වූ රජයේ පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යයින්ගේ කැමැත්ත පරිදි ද්විතියික අංශයේ කාණ්ඩ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව නොමැති වීම හේතුවෙන් ඔවුන් පීඩාවට පත්ව සිටින බවද කාරක සභාවේදී සාකච්ජා විය. මෙම පාසල් බොහොමයක එම විෂයන් උගන්වන ගුරුවරුන් නොමැති වීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ. ප්‍රාථමික අංශය සඳහා ගුරුවරුන් නොමැතිවීම ද ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම වූ රජයේ පාසල් මුහුණ දෙන්නා වූ තවත් ගැටලුවක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 64,930 ක් වෙන් කර තිබූ අතර (2016-2020 කාලය සඳහා) 2018 වසරේ දෙසැම්බර් 31 වැනි දින වනවිට රුපියල් මිලියන 31,234.77 ක් වැයකර තිබූ බවත්, එම ව්‍යාපෘතිය යටතේ ඇතැම් අවස්ථාවලදී අවශ්‍යතාවයන් නිසිලෙස අධ්‍යයනය නොකර පාසල්වලට සම්පත් ලබා දී තිබූ බවත් කාරක සභාවේදී සාකච්ජා විය.

නව පාසලක් පිහිටුවීම සඳහා අවම වශයෙන් අක්කර 02 ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය වුවද එම ඉඩ ප්‍රමාණය නොමැති සිසුන් 200 ට අඩු පාසල් 25ක් පමණ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පමණක් පවතින බව කාරක සභාවේදී  අනාවරණය වී ඇත.

ශානි

( රජයේ ගිණුම් කාරක සභා වාර්තාව ඇසුරෙනි)

Social Sharing
නවතම