සාගර ආරක්ෂාව අනතුරේ – පෙරටුගාමීන් කියයි.

සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම ඊයේ (01) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාතික ආරක්‍ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් 2020 නොවැම්බර් මස 28 වන දින කොළඹ දී පවත්වන ලද සම්‍රද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික සමුළුවේදී ඇති වූ එකඟතාවයක් මත මෙම ස්ථීර ලේකම් කාර්යාලය නාවික හමුදා මූලස්ථානය තුළ ඊයේ  දින ස්ථාපිත කෙරිණි.

ඒ අනුව, ඇතිකරගත් සමුද්‍රීය සහයෝගීතාවය තුලින් කලාපීය සමුද්‍රීය කටයුතු පිළිබඳ දැනුවත්වීම, මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම, ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණු කටයුතු සහ ශක්‍යතාවයන් වැඩිදියුණු කිරීම තවදුරටත් සහයෝගීත්වයෙන් යුතුව සිදු කිරීම අපේක්‍ෂා කරන අතර  තවද, සාගරික ආරක්‍ෂාව සහ තර්ජනයන්, සාගරික දූෂණය හා තෙල් කාන්දුවීම් සඳහා ප්‍රතිචාර දැක්වීම, සාගරික හා දියයට උරුමයන්, සාගරික නීතිමය ප්‍රතිපාදන සහ කොවිඩ් 19 පිටුදැකීම සඳහා ප්‍රතිචාර දැක්වීම ආදි කටයුතු සහයෝගීව සිදු කිරීමට මෙම සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය තුලින් වැඩිදුරටත් බලාපොරොත්තු වන අතර, ස්ථාපිත කරන ලද මෙම ස්ථීර ‍ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් පත් කර ඇතැයිද නාවික හමුදාව ප්‍රකාශ කර තිබුණි.

නමුත් මේ සම්බන්ධව පෙරටුගාමීන් පළ කර සිටින්නේ වෙනත් අදහසකි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසන්නේ ජීනිවා මානව හිමිකම් සැසියේදී ලංකාවට පක්ෂව හා විපක්ෂව ඡන්දය ලබා දීමේදී කඳවුරු දෙකක බෙදීමක් පෙනෙන්නට ඇති බවත් ඒ ඇමරිකාව, එක්සත් ජනපදය, යුරෝපය ඇතුලු කඳවුර හා චීනය, රුසියාව ඇතුලු කඳවුරු බවය. මෙහිදී ඉන්දියාව, ජපානය වැනි රටවල් මධ්‍යස්ථව සිටීමට තීරණය කර ඇති බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.

ආණ්ඩුව මේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර වලදී කියා සිටින්නේ මානව  හිමිකම් කවුන්සලය ආදි සංවිධාන අධිරාජ්‍යවාදී සංවිධාන, ඒවා අපට අවශ්‍ය නැති  බව කියන  නමුත් ඔවුන් සෙසු අධිරාජ්‍යවාදී සංවිධාන ( ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි) සමඟ නම් සම්බන්ධතා  පවත්වාගෙන යන බවත් ඔවුන්ගේ කොන්දේසි සියල්ලට යටත් වන බවත් පුබුදු ජාගොඩ මහතා පෙන්වා දෙයි.

දැන් මේ ආණ්ඩුව කරන්නෙ එක කඳවුරක් ආවාම ඔවුන්ට ලංකාව තමන්ගෙ උපායමාර්ගයට අදාළව පාවිච්චි කරන්න අවසර දෙනවා, පස්සෙ අනිත් කඳවුර ආවාම ඔවුන් එක්කත් ඒ විදියටම එකඟතා වලට එනවා. මේකෙ අවසන් ප්‍රතිඵලය සාගරයේ ආරක්ෂාවත් නැතිවෙලා ජනතාවගේ ආරක්ෂාවත් විනාශ වීම. 1978දී නොබැඳි ජාතීන්ගේ සමුළුව හරහා එකඟ වෙලා තියෙනවා ඉන්දියානු සාගරය සාම කලාපයක් වශයෙන් මූලික එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. මෙවැනි ගිවිසුම් හරහා ඒ එකඟතාවය මුළුමනින්ම කඩවෙනවා යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම