සහරාන්ට පඩි ගෙවූ අයගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි!

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු පිළිබඳව හොඳින්ම දන්නා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ මන්දැයි ඒ  වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන්  ප්‍රශ්න මතුවී තිබේ.

මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක්  විනාශ කිරීමට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් හෂීම් පිළිබදව සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයකුද වූ,  වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කාන්තා සංවිධානයක් ප්‍රකාශ කරයි.

“මොකද, එවකට ඒ ආණ්ඩුව විසින් පිළි ගත්තා සහරාන්ට පඩි ගෙව්වා. සහරාන් බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඒකියන්නේ සහරාන් ගැන මේ අය දැනුවත් ” යයි යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල කියා සිටියේ පෙබරවාරි 23 අඟහරුවාදා පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පෙබරවාරි 23 අඟහරුවාදා භාරදුන් 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කොට, පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මේ වන විට  පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කරන ලද එම කොමිසමින් ඔහු ඇතුළු  කිහිපදෙනෙකුට  එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශ කර ඇති බව ඇතැම් මන්ත්‍රීවරුන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති වාර්තාවේ නිර්දේශ දැක්වෙන පිටු වල දැක්වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ දේශපාලන වාසිය ලබා ගත් පුද්ගලයන් විසින් යම් යම් කාරනා‌ යට ගසමින් තිබෙන බවට සැක මතුවී තිබෙන බව පවසන නිරෝෂා අතුකෝරල හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය තව දුරටත් සඳහන් කළේ ප්‍රහාරකයා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ මොහොමඩ් සහරාන් ඔත්තු කරුවකු වශයෙන් යොදා ගන්නා ලද අයකු බව සිහිපත් කරන ඇය ප්‍රශ්න කළේ ඔහුව බුද්ධි අංශයට හදුන්වා දුන්නේ කවුද යන්නයි.

“සහරාන්ගෙන් ගත්ත බුද්ධි තොරතුරු මොනවාද, ඒ විතරක් නෙමෙයි 2015 න් පස්සේ සහරාන්ට මොකද උනේ.  මම විශ්වාස කරනවා සහරාන් ගැන මේ හැමෝටම වැඩිය දැන් ඉන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  දන්නවා කියලා, ”

එසේ තිබියදීත් ජනාධිපති කොමිසන් සභාව වත්මන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න නොකළ බව පෙන්වා දෙන හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය මාධ්‍ය හමුවේදී තව දුරටත් සදහන් කළේ සහරාන්ට පඩි ගෙවු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ මෙම කොමිසම හමුවට නොකැදවු බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට  සම්බන්ධ වී දැනට ඉන්දියාවට පැන ගොස් ඇති  බවට චෝදනා එල්ල වී සිටින   ‘සාරා’නොහොත් පුලස්තනී මහේන්ද්‍රන් සොයා ගැනීමට ලක් රජය  ඉන්දියාවෙන් ඉල්ලා නොමැති බවටත් ඇය චෝදනා කළාය.

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකය.

අපරාධ නඩු

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ  මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා  පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවට  එම කොමිසම නිර්දේශ කර තිබේ.

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු අතර  සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වේ.

Social Sharing
නවතම