පුවත්පත් මණ්ඩල කැලෑ උසාවිය අපිට එපා – මාධ්‍යවේදී කේ. සංජීව

පුවත්පත් මණ්ඩලය යනු කෑලෑ උසාවියක් බවත් මෙහි පත්වන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් වන හෙයින් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ අයිතීන් ඉන් ආරක්ෂා වේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ කැඳවුම්කාර මණ්ඩලයේ සභික, මාධ්‍යවේදී කේ. සංජීව මහතා පවසයි.

මේ පුවත්පත් මණ්ඩලය බිහි වූ දා සිට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සමාජය පැවති ආණ්ඩු වලින් ඉල්ලීම් කර සිටියේ මේ මණ්ඩලය වහාම මේ පුවත්පත් මණ්ඩලය අහෝසි කර මාධ්‍යවේදීන් සඳහා ස්වයං නියාමනය සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකසන ලෙස වුවත් පැවති කිසිඳු ආණ්ඩුවක් ඊට ප්‍රතිචාර දැක්වුයේ නැතැයිද ඔහු පවසයි.

යහපාලන රජය තුලත් ජනමාධ්‍ය ඇමතිවරයා, අගමැතිවරයා මේ මණ්ඩලය අහෝසි කරන බවට එකඟ වී සිටියත් ආණ්ඩුව නිමා වනතුරු එය කිරීමට හැකි වුයේ නැති බවත් සියලුම පාලකයින් මෙය අහෝසි කිරීම මඟ හැරිය බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මාධ්‍ය සංවිධාන තමන්ගේ විරුද්ධත්වය නිසා ඊට මාධ්‍ය නියෝජිතයින් ඊට නම් නොකළ බවත් එවන් ආයතනයක් නැවත ශක්තිමත් කිරීමට උත්සහ ගන්නේ, සංශෝධන ඉල්ලන්නේ මන්ද යන ගැටලුව පවතින බවද සංජීව මහතා පවසයි.

මේ මොහොතේ ආණ්ඩුවට සමාජ මාධ්‍ය හිරිහැරයක්, කරදරයක් වී ඇති අතර ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙයට ඇතුල් කර ඒ හරහා මාධ්‍යවේදීන් මර්ධනය කරන්නද යන සැකය මතු වෙමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ඇතැම් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මාධ්‍ය සදාචාර උල්ලංඝනය කර වාර්තාකරණයන් කරන බව පිලිගන්නා අතර  එය නියාමනය සඳහා කාලීන අත්‍යවශ්‍යතාවයක් ඇති බවත් නමුත් ඒ නියාමනය ජනාධිපතිවරයා පත් කරන මණ්ඩලයකට කළ හැකිද යන්න විශ්වාසයක් නොමැති බවද ඔහු පවසයි.

එමෙන්ම මෙය නියාමනය කිරීම සඳහා ස්වාධීන කොමිසන් සභා පත් කිරිමට යැයි කිව නොහැකි බවද ඊට හේතුව ස්වාධින කියන කොමිසන් වලට අද අත් වී ඇති ඉරණම නිසා යැයිද සඳහන් කරන ඔහු පවසන්නේ  ඒවා දැන් ජනාධිපතිවරයාගේ කොමිසන් සභා බවය.

ඉදිරියේදී මේ සංශෝධන පාර්ලිමේන්තුවට පනතක් වශයෙන් ගෙනවිත් සම්මත වීමට යන්නේ මාධ්‍යවේදින්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ද එසේත් නැතිනම් පුරවැසියාගේ අවශ්‍යතාවය වෙනුවෙන්ද යන්න විමසා සිටින බවද ඔහු කියා සිටියි.

රටේ කඩාවැටීම, අරාජික වීම මාධ්‍ය මඟින් රටට ගෙනයාම වැලැක්වීමට ගෙන එන මේ පුවත්පත් මණ්ඩලය සංහෝධනය කිරිමට මාධ්‍ය සංවිධානයක් ලෙස සම්පුර්ණයෙන්ම විරුද්ධ වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පුවත්පත් මණ්ඩලය අහෝසි කරනු, ස්වයං නියාමනයට යාන්ත්‍රණයක් සකසනු! යන මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ  (18) දින කොළඹදී පැවත්වුණු අවස්ථාවේදීය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කර තිබුණි.

ශානි

Social Sharing
නවතම