කොරෝනා එන්නත ගෙනාවාට රටටම දෙන්න මදි

ශ්‍රී ලාංකිකයන් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දෙන  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අනතුරු අඟවා තිබේ.

රටක වෙසෙන ජනතාවගෙන් සීයට විස්සක ප්‍රතිශතයකට කෙටි කාලයක් තුලදී  එන්නත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය බැව් පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ  ඉන්දියාවෙන් පළමු වටයේදී  මෙරට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය  ලබා දිය හැක්කේ දෙලක්ෂ පනස් දහසක් දෙනාට පමණක් බවයි.

ඉන්දියාවේ  නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා  ලක්ෂ පහක් පසුගියදා මෙරටට ගෙන්වා තිබුනි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට සීයට විස්සකට රටක මේ එන්නත දෙන්න ඕනේ ආරම්භයක්   විදිහට කෙටි කාලයක් තුළ. එහෙම බැලුවොත් රටේ ජනග්‍රහනය මිලියන 22යි. හතලිස් හතර ලක්ෂයකට එන්නත දෙන්න ඕන. හතලිස් හතර ලක්ෂයකට ඩෝසස් දෙකක් , මාත්‍රා දෙකක් දෙනවනම් ලක්ෂ අසු අටක් ඕන.  ලක්ෂ අසු අටක් ඕන තැන ආණ්ඩුව ගෙනාවේ  ලක්ෂ පහයි. ”

එවැනි තත්වයක් තුළ ලංකාවට ගෙන ආ එන්නත් ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සදහන් කළේ පෙබරවාරි 10 බදාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙබරවාරි 10 බදාදා නිවේදනය කර තිබුනේ එදින රාත්‍රී 8.30 වන විට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩ සටහන යටතේ පුද්ගලයන් 176,725 දෙනෙකු එන්නත ලබා ගෙන ඇති බවයි.

ඇත්ත ගණන් හංගනවා

කොරෝනා වැළඳීමෙන් පසු රෝහල් ගත කර සිටින සෑබෑ රෝගින් සංඛ්‍යාව ආණ්ඩුව විසින් සඟවන බවටත් වෘත්තිය සමිති නායකයා එහිදී සැක පළ කළේය.

ශ්‍රී ලංකාවේ දිනකදී වාර්තා වූ  වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් හදුනා ගත්  පසුගිය දෙදින  ඇතුලුව අවසන් දින 10 තුලදී වාර්තා වු කොරෝනා රෝගීන් සංඛ්‍යාව හා මේ වන විට රෝහල් ගතව ඉන්නා බවට රජය පවසන රෝගීන් ප්‍රමාණය අතර පැහැදිලි වෙනසක් පවතින බව ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයා එහිදී අවධාරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරවාරි 10 බදාදා රාත්‍රී 9.45  ට නිවේදනය කර තිබුනේ රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිත රෝගීන් ගණන 6155 ක් බවයි.

Social Sharing
නවතම