මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට මහ පාරේ සිටිය යුතු නැහැ! – මාධ්‍යවේදිනී ජයනි අබේසේකර

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය  වාර්තාවකින් පෙන්වා දී ඇතැයි  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි අබේසේකර මහත්මිය පවසයි.

ඒ මාධ්‍යවේදීන් 44 ක් අතරින් 41 කු දෙමළ මාධ්‍යවේදීන් බව අවධාරණය කර සිටින ඇය පවසන්නේ මේ කළු ජනවාරිය තුල අප අනුස්මරණය, ස්මරණය කරනු ලබන්නේ දකුණේ සිංහල මාධ්‍යවේදීන් පමණක් නොව උතුරේ දෙමළ මාධ්‍යවේදීන් ඇතුලු මාධ්‍ය ආයතන වලට සිදු වූ අපරාධ බවය.

පහුගිය දශක දෙක දෙස හැරී බැලීමේදී පෙනී යන්නේ විශාල වශයෙන් මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වූ කාලයක් බවද ඇය පවසයි.

තවදුරටත් අවශ්‍ය වන්නේ හුදෙක් මේවා ස්මරණය කිරීමක් පමණක් නොවන බවත් මේ අපරාධ වලට  වගකියන යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් නමුත් පහුගිය කාලය පුරා බලයට පත් වූ ආණ්ඩු බලයට පැමිණියේ මේ මාධ්‍යවේදීන්ගේ මරණ මතින් බවද ඇය පෙන්වා දෙයි.

එමෙන්ම බලය පවත්වාගෙන යාමට, නඩත්තු කිරීමටද ඒවා පාවිච්චි කළද කිසිම ආණ්ඩුවක් මේ අගතියට පත් මාධ්‍යවේදීන් වෙනුවෙන් සාධාරණයක් කිරීමට අසමත් වූ බවද ජයනි අබේසේකර මහත්මිය පවසයි.

මහජනතාවට තොරතුරු හෙළිකරන්නට ගොස්  මාධ්‍යවේදීන්ට සිදු වූ අපරාධ හුදෙක් ඔවුන්ට පමණක් සිදු වූ අපරාධයක් ලෙස නොව මුලු රටටම සිදු වු අපරාධයක් ලෙස මහජනතාව තුලට කා වැද්දීමට වත්මන් මාධ්‍ය ක්‍රියා කර නැති බව පෙන්වා දෙන ඇය පවසන්නේ සිය සහෝදර මාධ්‍යවේදින්ගේ වග වීම සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවය.

මේ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට මහ පාරේ සිටිය යුතු නැති බවත් සවිඥානකව තමන්ගේ පෑන, කැමරාව හැසිරවිය හැකි බවද ඇය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු යන තේමාව ඔස්සේ ඊයේ (02) දින කොළඹ ජානකී හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ  විසින් සංවිධානය කර තිබුණි.

 

Social Sharing
නවතම