ප්‍රසූත නිවාඩු අඩු කිරීම තුච්ඡ වැඩක්!

රාජ්‍ය සේවයට බඳවා ගන්න ලද උපාධිධාරීන්ට අදාළ ප්‍රසුත නිවාඩු කාලය දින 42 දක්වා අඩු කිරීමට රජය පහුගියදා තීරණය කළ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව පසුගියදා අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය ජනාධිපතිවරයාට ලබා දීම සඳහා එහි සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වෙත අද (26) ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ලබා දුන්හ.

ඒ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, ලංකා බැංකු සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, වෙනසක තාරුණ්‍යය සංවිධානය නියෝජනය කරන පිරිසක් විසිනි.

“වැඩකරන දින84 ප්‍රසූත නිවාඩු තිබුණා. ආණ්ඩුව ඒක කප්පාදු කළා. ඒක බරපතළ කාරණයක්. මාස 6ක් මවුකිරි දෙන්න කියලා නිර්දේශ කරල තියෙන වටපිටාවක ඒ දින 42 දක්වා අඩු කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. විරෝධතා නිසා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පහුගිය 2020 දෙසැම්බර් 23 අමාත්‍යාංශ ලේකම්ට නියෝග කරලා තිබ්බා.

වැඩ කරන දින 84 නැවත ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කරන්න කියලා. අදට මාසයක් ඉවරයි. මොකුත් කරල නෑ. හැම සතියෙම කැබිනට් එක රැස්වෙනවා. වරාය විකුණන්නවා වගේ යෝජනා විතරක් අරන් යන ආණ්ඩුවක් මේ තියෙන්නෙ. මේ වෙනකොට සති 6 දරුවො ඉන්න අම්මලා තමන්ගෙ දරුවා අරන් ගිහින් වාහන ඇතුලෙ තියන් කිරි ටික දෙන්නෙ. මේවා තුච්ඡ වැඩ. අපි සතියක් කල් දෙනවා. කැබිනට් පත්‍රිකාව බැරිනම් පුලුවන් දෙයක් කරලා ප්‍රසූත නිවාඩු වැඩකරන දින 84 දෙන්නැත්නම් මීට වඩා ක්‍රියාමාර්ග ගන්නවා” යනුවෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය.

මේ අවස්ථාවේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය, ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභික රුවන් වනසිංහ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් අදහස් දැක්වීය.

Social Sharing
නවතම