මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් – සමන් රත්නප්‍රිය

මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් බවත්,  මේ නිසා රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනාථ වූ බවත්  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය දෙන කැබිනට් අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය කොරෝනා වසංගතය මර්ධනය කිරීමට  විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා නොගෙන අවිද්‍යාව පදනම් කරගෙන, මිත්‍යා දෘෂ්ඨික කාරණා පදනම් කරගෙන  බොහෝ දේවල් කිරීමට උත්සහ ගත් බව ඒ මහතා පවසයි.

ධම්මික පැණිය පැමිණි අවස්ථාවේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් මාධ්‍ය ඉදිරියට ගොස් එම පැණිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අතර මිනිසුන් මේ පැණිය විශ්වාස කිරිමට එයද එක් හේතුවක් බවත් පෙන්වා දෙන සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ මේ ධම්මිකගේ පැණිය ආයුර්වේද වෛද්‍යවරු ප්‍රතික්ෂේප කරන විට ආණ්ඩුව එය ප්‍රතික්ෂේප නොකළ බවය.

මේ වන විට රෝහල් වල කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින බවත් මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය  53 ක්, හෙද නිලධාරීන් 13 ක්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය 75 ක්පමණද , කරාපිටිය රෝහලේ 28 ක්, රත්නපුර රෝහලේ 30 ක්,  වෛද්‍යවරු 05 ක්ද වාර්තා වන බව ඔහු කියා සිටියි.

එමෙන්ම අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අංශ  වන හෙද පාලන අංශය, විභාග අංශය ආදී අංශ 05 ක් වසා දමා ඇතැයිද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් 20 කට අධික සංඛ්‍යාවකට කොරෝනා වැලඳීම නිසා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරු නිරෝධායන කරන තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම පවසයි.

ධම්මික පැණිය ලබා ගන්න පොර කකා මිනිසුන් ගිය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේම අය එහිදී ගුටි කෑ බවත් පවසන සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ මේවා විහිළු බවය. මේ විහිළු යථාර්ථයක් බවට පත් කලේ අපේ මැති ඇමතිවරු ද බව ඔහු අවධාරණය කරයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ලබා දීමට නොහැකි වූ ආණ්ඩුව අවිද්‍යාව පදනම් කරගෙන රටේ ජනතාව අමාරුවේ දමා ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම