රට විරුවාන් ගෙන්වීමට වඩා යුක්රේනුවන් ගෙන්වීමට ආණ්ඩුව උනන්දුයි! – ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව

එදා රට විරුවන් ගැන උදම් ඇනු ආණ්ඩුව අද රට විරුවන්ට වඩා විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහි දක්වන්නේ අසිමීත උනන්දුවකි.

එදා හැට නව ලක්ෂයක ඡන්දය ලැබුණේ මේ රට විරුවන් ස්වෙච්ඡාවෙන් මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට සිය ඡන්දය ලබා දීම හේතුවෙනි. නමුත් ගෝලීය වංගතයක් හමුවේ රට විරුවා අද මැදපෙරදිග තනි වී ඇත.

අපේ ඥාතීන් මව්බිමට ගෙන්වා දෙන්න

මේ විදේශගතව සිටින  ශ්‍රමිකයන් ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි බල්තසාර් ඇතුළු ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට පහුගිය දා  (19) විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලද්දේ ඒ නිසාය.

කාලයක් රටවිරුවන් ලෙස වත්මන් පාලකයන්ම හැඳින්වූ විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීම ජාවාරමක් බවට පත්කරගෙන ඇති බවත් අඩුම තරමේ මෙලෙස ගෙන්වන අයගේ නාමලේඛනය සකස් කරන්නේ කෙසේද යන්න හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නොදන්නා බවද මෙහිදී  ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව කියා සිටියහ.

govt interested in importing ukrainians progressive womens unionවිදෙස් ගතව මෙරටට පැමිණීමට නොහැකිව 80,000ක 90,000ක පමණ පිරිසක් සිටින බවත් ලංකාවට පැමිණීමේ ලේඛනයට තම නම ඇතුළත් කරගැනීමට තානාපතිකාර්යාල වෙත ඇමතුම් ලබාදීමේදී ටිකට් ලබා ගැනීම සඳහා මුදල් තිබේදැයි විමසන බවත් මුදල් නොමැතිනම් නම ඇතුළත් කිරීමට නොහැකි බව ඔවුන් පවසන බවත් මෙහිදී අනාවරණය විය.

මේ වනවිට කොවිඩ් ආසාදිනයෙන් 300 කට අධික පිරිසක් විදේශගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් පිරිසක් ඇතිවන පීඩනයන් දරාගැනීමට නොහැකිව හටගන්නා මානසික ආතතිය හේතුවෙන් සියදිවි නසාගන්නා තත්වයට පත්ව ඇති බවත් එහිදී ඔවූහු අවධාරණය කළහ.

විශේෂයෙන්ම මැදපෙරදිග රටවල රැකියාවට ගොස් රැකියා කාලය අවසන් වීමෙන් වීසා අවලංගුවූ විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව දුක් විඳිමින් සිටින බවත් ඒ අතර කාන්තාවන්ට මුහුණදීමට සිදුව ඇති තත්වය ඉතාමත් ඛේදජනක බවත් ඔවූහු අවාධාරණය කරති.

යුක්රේන ජාතිකයින් මෙරටට ගෙන්වා රටවටේ යාමට ඉඩ ලබාදී ඇති පසුබිමක විදේස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගෙන ඔවුන් ඔවුන්ගේ නිවාස තුළ නිරෝධායනයට යොමු කිරීමට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ මන්දැයි ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ නියෝජිතයෝ ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි.

ලංකාවට එන්න සිටි අය නැවත රැකියා වල

මේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා  පවසා සිටින්නේ කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉල්ලීම් කර තිබූ මැදපෙරදිග රටවල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරිසක් සිය කැමත්තෙන්ම යළි එම රටවල රැඳී රැකියාවල නිරතවීමට තීරණය කොට ඇති බවත්, පිරිසක් දැනටමත් එම රැකියා ස්ථානවලට ගොස් රැකියාවල නිරත වීමට පටන්ගෙන තිබෙන බවත්ය.

මැදපෙරදිග රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් කොටස් වශයෙන් මීට පෙර මෙරටට පැමිණි බවත් ඉදිරියේදී පැමිණීමට සූදානමින් සිටි පිරිසේ කොටසක් යළි එහිම රැඳී රැකියාවල නිරත වීමට තීරණය කර තිබෙන නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට කර තිබෙන ඉල්ලීම් කඩිනමින් සමාලෝචනය කොට මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටින පිරිස පමණක් කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද දැනුවත් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදාළ තානාපති කාර්යාල සමඟ දැනට සම්බන්ධීකරණ කටයුතු සිදුකරගෙන යන බවත් 21 වැනිදා ගුවන් තොටුපොළ විවෘත කළ පසුව සති 2ක් ඇතුළත මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලංකාවට ගෙන්වා ගැනීම පිලිබඳ මුලික අයිතිවාසිකම් පෙත්සමක්

කෙසේ නමුදු විදේස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය දරණ ඇල්මැරුණු පිලිවෙත නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්  පහුගිය දිනෙක නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදි.

එකී පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කිරීම පහුගිය 19 දා සිදු විය. ඒ අදාළ පෙත්සම  (19) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදිය.

එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතිසී මෙතෙක් භාරදී නොමැති බව විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට පෙන්වා දී තිබේ.

එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු කියා සිටියේ තමන් නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතීසි දැනටමත් භාර දී ඇති බවය.

ඒ අනුව එම අවස්ථාවේ අධිකරණයේ සිටි රජයේ නීතිඥවරයෙකු වෙත එම නඩුකරයට අදාළ නොතිසි යළි  භාරදෙන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතාට දැනුම් දුන්නේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

Social Sharing
නවතම