කෑගල්ලේ කොරෝනා වෛරසය ඉහළ ගියේ ධම්මික පැණිය නිසාද?

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකි වනු ඇතැයි විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමාද බිරිඳ හා සිවු නිවුන් දරුවන්ද පානය කළ නමුත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ලංකාදීපට පැවසූ පුවතක් අද (18) ලංකාදීපය වාර්තා කර තිබුණි.

එම පුවතට අනුව මේ වන විට ප්‍රාද්ශීය සභා මන්ත්‍රීවරයා ඇතුලු පවුලේ සියලු දෙනා සිටින්නේ ඇඹිලිපිටිය පිහිටි යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේය.

මෙම පිරිස ධම්මික පැණිය දින දෙකක් නියමිත මාත්‍රාවට පානය කර ඇති අතර ඒ කාලය තුල මස්, මාලු, බිත්තර කෑමෙන්ද වැළකී සිට ඇත. ඒ පැණිය බොනවිට ඒවා කෑමට නොගන්නා ලෙස උපදෙස් ලැබී තිබුණු නිසාය.

නමුත් දැන් තම පවුලේ සියලු දෙනාටම වෛරසය වැළඳී ඇති අතර මෙය කොරෝනාවට ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලි වන බවත්, මොහුගෙන් මෙම පැණිය ගැනීමට රට පුරා විශාල පිරිසක් කෑගල්ලට පැමිණීම නිසා කෑගල්ලේ කොරෝනා වෛරසය ඉහළ ගිය බවට විශ්වාස කරනවා යැයිද ඔහු ලංකාදීපයට වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

පාර්ලිමේන්තුවට පැණිය යයි

පාර්ලිමේන්තුවටද මෙම පැණිය ගෙන ගොස් දීමට ධම්මික බණ්ඩාර මහතා ක්‍රියා කළ අතර එහිදී මැති ඇමතිවරුන් විසින්ද මෙය පානය කරනු ලැබුණි. නමුත් මේ වන විට පාර්ලිමේන්තුවේද දයාසිරි, හකීම්, වාසු ඇතුලු මන්ත්‍රීවරුන්ට හා කාර්ය මණ්ඩලයද කොරෝනාවට ගොදුරු වෙමින් ඇත.

මාධ්‍යට දොස්

කෙසේ නමුදු ධම්මික පැණිය බිවූ පුද්ගලයින්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව අනාවරණය වුයේ මෙයට ප්‍රථමය. ඒ බව කෑගල්ලේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු විසින් ප්‍රථම වරට මාධ්‍ය වෙත වාර්තා කර තිබුණි. මෙය දුටු ධම්මික මහතා එහිදී එම මාධ්‍යවේදියාට බැන වැදී ඇත්තේ තමන්ගේ කීර්තිනාමයට අපහාස කළ  බවට එම පුවතට විරුද්ධව නඩු පවරන බව කියමිනි.

මේ අතර ඔහු මාධ්‍ය හමුවක් කෑගල්ලේදී පවත්වනු ලැබීය. ඒ ඔහුට ඇතැම් මාධ්‍ය හා දේශපාලඥයින් කෙනෙහිලකම් කරන බව එහිදී පැවසුවේය.

මාත්‍රාව

මෙම පැණිය කොරෝනා වැළඳුන අයෙකු නම් දිනපතා උදේ සවස මේස හැන්ද බැගින් දවස් තුනක්ද, කොරෝනා වැළඳී නැති අයෙකු නම් දිනපතා උදේ සවස මේස හැන්ද බැගින් දවස් දෙකක්ද පානය කළ යුතුව ඇත.

කාලක් 2500

මුලින් මේ පැණිය හැමෝටම නොමිලේ ලබා දුන් අතර එහිදී දිවයිනේ නන් දෙසින් ජනතාව පැණිය ලබා ගැනීමට පැමිණියහ. මේ වන විට කෑගල්ලේ ස්ථාන දෙකකදී මේ පැණිය ලබා දීම සිදු කරනු ලබයි. වෙනත් ස්ථානයක ලබා දෙන්නේ නම් ඒ බව ශබ්ද විකාශන යන්ත්‍රයකින් දන්වනු ලබයි. එසේම මේ වන විට ධම්මික පැණිය කාලක් රුපියල් 2500 ට අලෙවි කරනු ලබයි. මෙය ධම්මික වෙද මහතා විසින් ලබා නොගන්නා අතර ඔහු අසල සිටින තරුණයින් විසින් එකතු කරනු දක්නට හැකිය.

Social Sharing
නවතම