“ඇයි මට සහායෝගය දෙන්න බැරි” මහ බැංකු නිලධාරීන් නිදාගෙනද? : ජනපති මහ බැංකු ලොක්කන්ට දෙහි කපයි!

මහ බැංකුවේ “හොරකම්” සදහා ලබාදුන් සහාය තමන් ඉල්ලන “සාධාරණ දෙයක්” වෙනුවෙන් සිදු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු ප්‍රධානීන් සමග ඊයේ (16) අඟහරුවාදා  පැවැති සාකච්ඡාවකදී දැඩි ස්වරයෙන් විමසා සිටියේ ආර්ථිකය යහපත් අතට හැරවීමට නොහැකිව තමන් අපහසුතාවයකට පත්ව සිටින බව පවසමිනි.

” මට ඕනෑ නෑ ගිය ආණ්ඩුව කරපු වැරදි කතා කරන්න. නමුත් ඔයගොල්ලෝම දන්නවානේ ඔය බැංකුවේ හොරකම් කරන කොටත් ඔයගොල්ලොමනේ හිටියේ. ඒවායේදී එයාලට සහයෝගය දුන්නා නම් ඇයි මං මේ ඉල්ලන සාධාරණ දේ කරන්න බැරි.”

රටේ ආර්ථිකය ගොඩ නැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාවේ යෙදවිය නොහැකිනම් රටේ  ලොකු ම  ආර්ථික විශේෂඥයන් සිටින මහ බැංකුව තමන් වෙත ලබා දී ඇති යෝජනා කවරේදැයි ජනාධිපතිවරයා කෝපාවිෂ්ඨව විමසන අයුරු වීඩියෝ දර්ශන වල සටහන්ව තිබේ.

මහා බැංකුව නිදි

සෞඛ්‍ය අර්බුදය  ආර්ථික අර්බුදයක් වීමට ඉඩ ලබා දිය නොහැකි බව පවසන ජනාධිපතිවරයා චෝදනා  කරන්නේ ලොව සෙසු රටවල් සමග සංසන්දනය කරද්දී  රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් මෙරට  මහ බැංකුව කිසිදු පියවරක් නොගෙන “නිදා සිටින” බවයි.

“දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහබැංකුව කරලා නෑ. මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & Physical Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න.”

මහ බැංකු ප්‍රධානීන්ගේ වැරදි රජය පිට පැවරෙන බව පවසන ජනාධිපතිවරයා එහිදී චෝදනා කළේ ලක්ෂ ගණනින් වැටුප් ගන්නා ආර්ථික විශේෂඥයන් තමන් ප්‍රමුඛ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන බවයි.

” බලන්න අනිත් රටවල් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බේරගන්න කරන වැඩ. කෝ ඒවා අපේ අය කරනවා. එක්කෝ ඔයගොල්ලෝ මාව අමාරුවේ දාන්න හදනවා. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඉන්න අය. මට මේ විදියට කතා කරන්න ඕන නැහැ. ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ රාජකාරිය කරනවානම්. නමුත් මාස අටක් දැන් මම පත්වෙලා. ආපු දවසේ ඉඳලා කියනවා කඩා වැටුණු ආර්ථිකය ගොඩගනිමු කියලා.   ”

එහිදී ජනාධිපතිවරයා මහ බැංකු ප්‍රධානීන්ට අභියෝග කළේ රටේ ආර්ථිකය ගොඩ නැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස තමන් කරන යෝජනාව සම්මත නොකරන්නේ නම් බැංකු ප්‍රධානීන්ගේ සැලසුම් “හෙට උදෑසන වන විට” තමන් වෙත ලබා දෙන ලෙසයි.

“අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න. මේ බිස්නස් වල වැරැද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටියට තියාගෙන බැංකුවලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආර්ථිකය දුවවන්න. මේ Money Circulation එකනේ. මේක සිම්පල් දෙයක්. මේ Basics of Economics නේ. හැබැයි ඔයගොල්ලෝ මොනවාද කරන්නේ.”

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ මහබැංකු නිලධාරීන්  මෙම  සාකච්ඡාවට එක්ව තිබේ.

Social Sharing
නවතම