“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්  

Rishad Bathiudeen letter to the Election Commission regarding the right to vote in the North

උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූනු අතර එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි මේ දක්වා සංවර්ධනය නොවීම නිසා, එම ජනතාවට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස වලද ඔවුන් තාවකාලිකව පදිංචිව සිටින බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු පෙර පැවති මැතිවරණ කිහිපයකදී පොකුරු ඡන්ද මධ්‍යස්ථාන ඇති කර උතුරු පළාතේ ඡන්දදායකයන් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට පහසුකම් සපයා තිබු නමුත් මෙවර ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේදී උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ නම්, ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙන බවක් දැන ගැනීමට ලැබුණු බවද  එයට හේතුව ලෙස එම ඡන්දදායකයන් පදිංචිවී සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ බව සඳහන් කර තිබීම බවද මෙම ලිපියෙක් නියා ඇත.

උතුරු පළාතේ පදිංචි ජනතාවට තම මුල් ගම්බිම්වල ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කිරීම යුක්ති සහගත නොවන බවත්, මූලික මානව අයිතිවාසිකම් කඩවීමක් බවත්, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

වැඩිදුරටත් එම ලිපියේ මෙසේද සඳහන් වේ.

ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමට සහ ඔවුන් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තිබේ. එය ඡන්දහිමියාගේ අභිමතය සහ කැමැත්ත පරිදි තීරණය විය යුතුය. එමෙන්ම එය නීතිමය අයිතියකි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරණායක යන මහත්ම මහත්මීන් කොළඹ පදිංචිව සිටියද, ඔවුන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවී සිටින්නේ හම්බන්තොට, පොළොන්නරුව සහ ගම්පහ දිස්ත්‍රික්කවලදීය.

එබැවින් තමන්ට නිවසක් තිබෙන ස්ථානයක සිය ඡන්දය ලියාපදිංචි කිරීම පුරවැසියන්ගේ අයිතියකි. යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාව යළි මුල්ගම්බිම්වල පදිංචි වී සිටියද එම ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් නොතිබීම නිසා ඔවුන් පුත්තලම දිස්ත්‍රික්කයේද පදිංචිව සිටින බව මැතිවරණ කොමිසමට දැනුම් දී එම ඡන්දහිමියන් සම්බන්ධයෙන් තීරණ ගෙන තිබුණද, මන්නාරම දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්තුමා විසින්, නාම ලේඛනවලින් ඡන්ද හිමියන් 7,727 දෙනෙකුගේ නම් ඉවත් කර තිබෙන බව දැන ගැනීමට ඇත.

ඒ අතර මන්නාරම නගර  ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඡන්දහිමියන් 2,618 දෙනෙකු, මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 3,452 දෙනෙකු, මන්තායි බටහිර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 1,217 දෙනෙකු, නනාට්ටාන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් 457 දෙනෙකු, මන්නාරම නගර සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 342 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනයෙන් ඉවත් කර තිබෙන බවත්, එමගින් එකී ජනතාවට අසාධාරණයක් වී ඇත.

Rishad Bathiudeen letter to the Election Commission regarding the right to vote in the North

Rishad Bathiudeen letter to the Election Commission regarding the right to vote in the North

Social Sharing

Related posts