කොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?

අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන  අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය.

ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ සමගි ජන බලවේග මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ කොරෝනා එන්නත ගැන විමසා සිටි අවස්ථාවේදීය.

එහිදී අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසුයේ එක එක රටවල් තමන්ගේ වත්කම් අනුව කොරෝනා එන්නත මිලියන ගණන්  ඕඩර් කර ඇති නමුත් අපිට දැන්ම එය අවශ්‍ය නැති බවත් උවමනා වු දවසට එය ගෙන්වීමට කටයුතු කරන බවත් ඊට මුදල් සොයා ගන්නා බවත්ය.

ඔහුගේ මෙම ප්‍රකාශය නිසා සමගි ජන බලවේග මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ අමාත්‍යවරයා අතර සංවාදාත්මක තත්ත්වයක් ද හට ගැනිණ.

කෙසේ නමුදු එම සංවාදයට මාස එක හමාරක පමණ කාලයක් ගත වූ තැන එම සිද්ධිය යළි සිහිපත් කරන්නට සිදු වි ඇත. ඒ අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාටත් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීම නිසාය.

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉකුත් 05 වනදා ආරම්භ වු අතර අමාත්‍ය වාසුදේව නානයක්කාර, 05, 06 සහ 07 යන තෙදින තුළම පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව පැවසේ.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් 19 ආසාදනය වි ඇති බව තහවුරු වුයේ පහුගිය සතියේය. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සෞඛ්‍ය අංශ විසින් සිදු කරන්නට විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොවිඩ් 19 වෛසරය ආසාදනය වි ඇති බව වාර්තා විය.

හෙට්ටිපොළ සිය කාර්යාලයයේදී  කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු  මේ වන විට  ප්‍රතිකාර  ලබන  අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා හමුවීමට  එදින එම කාර්යාලයට  ගිය නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ  පුද්ගලයන් හත් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 30ක් පමණද  නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ. රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර  ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණි.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර කුමාරසිරි හෙට්ටිගේ මහතා පසුගිය 08 වන දින පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ද සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුද හඳුනාගෙන ඇති අතර  ඔවුන් සියලුදෙනාට ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා සිතා සිටියේ ධම්මික බණ්ඩාරගේ පැණිය බිවු පසු තමන්ට කොවිඩ් ආසාදනය නොවන බවය. නමුත් දැන් සත්‍ය පිටතට පැමිණ ඇත.

Social Sharing
නවතම