සමාජ මාධ්‍යජාල පරිශීලකයන් රජයේ ලියාපදිංචි කිරීමක් වෙන්නේ නැහැ! – ජනමාධ්‍ය ඇමති

සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කිරීමට රජය දරණ මතය අනුව, සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී පවසා තිබූ බව මීට දින කිහිපයකට ඉහතදී මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

අමාත්‍යවරයා පවසා තිබුනේ “සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා තියෙන විශාල විෂමතාවයන් සහ පෙළක් වෙලාවට ඉතාම නීතිවිරෝධී අන්දමින් කෙරෙන කටයුතු පාලනය කළ යුතුයි කියලා අපේ මතයක් තියෙනවා. ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය සහ මුහුණපොතවල් වල සැරිසරන අය ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා අපි අමාත්‍යාංශය හරහා” යනුවෙනි.

ඔහුගේ මෙම ප්‍රකාශය මාධ්‍ය මඟින් වාර්තා වීමත් සමඟ රටේ සියලු දෙනාම දැඩි අවධානයක් ඊට යොමු කළහ. ඒ රජය  සමාජ මාධ්‍ය මර්ධනකාරී කිරීමේ පියවරක් ලෙස හඳුන්වමිනි. මේ නිසා මුහුණු පොතේ බොහෝ දෙනා සිය ප්‍රොෆයිලයට මෙය ලියාපදිංචි කළ ගිණුමකි යනුවෙන් සඳහන් කරන්නට විය.

විපක්ෂයේ දේශපාලඥයින්ගේද විවේචනයට ලක් වූ මෙම ප්‍රකාශය මාධ්‍ය නිදහසට එල්ල වූ බලවත් ප්‍රහාරයක් බවද පෙන්වා දෙන ලදි.

මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටියේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසිමට, එම වෙබ් අඩවි වල ගිණුමක් පවත්වාගෙන යාම සඳහා පරිශීලකයන් කිසිඳු විටෙක රජයේ ලියාපදිංචි විය යුතු නැති බවත්, එසේ ලියාපදිංචි කරන්නේ නම් එය තාක්ෂණ නිදහසට එල්ල වූ දැවැන්ත පහරක් බවත්ය.

රටේ සියලු දෙනාගේ විරෝධය මෙලෙස ගොඩනැගෙද්දී ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ සමාජ මාධ්‍ය නියාමනය කිරිමට රජය පියවරක් ගෙන නොමැති බවත් මේ සංසරණය වන ප්‍රකාශ අසත්‍ය බවත්ය.

අදාල ප්‍රකාශය මඟින් තමන් අදහස් කළේ දත්ත අවභාවිතා කිරීම මඟින් දේශීය ව්‍යාපාර යටත් කරන ඩිජිටල් බහුජාතික සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙහි අරමුණ බවය. රජය සලකා බලන්නේ විදේශිය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම මිස මෙරට ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම නොවන බවද ඔහු කියා සිටියි.

Social Sharing
නවතම