විදේශ සංචිත වර්ධනය මන්දගාමීයි: ජංගම ගිණුමේ හිඟය නැවත මතුවෙයි!

වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා.

කිසියම් කාලයක් තුළ, නැවත ආපසු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැතිව, විදේශිකයන්ගෙන් රටට ලැබී ඇති සහ රටෙන් විදේශිකයින් වෙත යවා ඇති විදේශ අරමුදල් ජංගම ගිණුමෙහි සටහන් වෙනවා. පළමු මාස හයේ මෙසේ සටහන් වූ විදේශ ආදායම් හා වියදම් මෙසේ සාරාංශගත කළ හැකියි.

වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:

  • අපනයන ආදායම් – ඩොලර් මිලියන 6,903.2
  • සේවා ආදායම් – ඩොලර් මිලියන 3,528.3 (මෙයින් ඩොලර් මිලියන 1,511.1ක් සංචාරක ආදායම්)
    ප්‍රාථමික ආදායම් – ඩොලර් මිලියන 311.3
  • ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) – ඩොලර් මිලියන 4,604.8
  • එකතුව – ඩොලර් මිලියන 15,347.6

වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමෙහි වැය:

  • ආනයන වියදම් – ඩොලර් මිලියන 12,392.3 (මෙයින් ඩොලර් මිලියන 3,168ක් ඉන්ධන ආනයන වන අතර වාහන ආනයන ඩොලර් මිලියන 1,254ක් පමණයි)
  • සේවා වියදම් – ඩොලර් මිලියන 1,929.7
  • ප්‍රාථමික වියදම් – ඩොලර් මිලියන 1,205.8
  • ද්වීතියික වියදම් – ඩොලර් මිලියන 70.0
  • එකතුව – ඩොලර් මිලියන 15,597.8
  • ජංගම ගිණුමේ හිඟය – ඩොලර් මිලියන 245.4

වසරේ දෙවන අර්ධය තුළ මෙම අයහපත් ප්‍රවණතාවය ආපසු හැරීමේ ඉඩක් ඇත්තේ වුවද, පසුගිය තෙවසර තුළ පැවති ආකාරයේ සැලකිය යුතු අතිරික්තයක් දැකිය හැකි වනු ඇති බවක් පෙනෙන්නට නැහැ. එයින් අදහස් වන්නේ මෙම වසර අවසන් වන විට රටේ නිල විදේශ සංචිතයේ ලොකු වෙනසක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි.

ලංකාවේ ජංගම ගිණුමෙහි 1956 වසරේ සිට 2022 දක්වා කාලය අතරතුර 1965 සහ 1977 යන දෙවසර තුළදී හැරුණු විට දිගින් දිගටම දැකිය හැකි වූයේ හිඟ තත්ත්වයක්. එහෙත්, 2022 ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය ආපසු හරවා ගැනීමට හැකි වුනා.

ජංගම ගිණුමේ හිඟයක් ඇති විට ඊට සමානව රටේ විදේශ බැරකම් ඉහළ යනවා. දිගින් දිගටම ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වෙද්දී විදේශ බැරකම්ද දිගින් දිගටම ඉහළ යනවා. මෙය අවසාන වශයෙන් එම බැරකම් පියවිය නොහැකි තත්ත්වයකට පත් වී කෙළවර වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. 1965, 1977 මෙන්ම 2022දීද මෙම තත්ත්වය නිවැරදි වූයේ රුපියල එකවර විශාල ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් පසුවයි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, එක දිගට වසර තුනක්ම ජංගම ගිණුමෙහි අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වූ අතර එමගින් රටේ ශුද්ධ විදේශ බැරකම් වල සැලකිය යුතු අඩු වීමක් සිදු වුනත් මේ වන තුරුද බාහිර කම්පනයකට තනිව මුහුණ දිය හැකි මට්ටමකට රටේ නිල විදේශ සංචිත වර්ධනය වී නැහැ. දැනට මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩ සටහන අවසන් වනු ඇත්තේද මේ තත්ත්වයේ විශාල වෙනසක් නොමැතිවයි. එබැවින් දැනට පෙනෙන්නට තිබෙන්නේ මෙම වැඩසටහන අවසන් වෙද්දී මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වනු ඇති බවයි.

– ඉකොනොමැට්ටා
Social Sharing
අවකාශය නවතම