
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට ආධාර හා අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ජූලි 31 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙම නඩු දෙක විභාග කළේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. බහුතර තීන්දුව මත විත්තිකරුවන් දෙදෙනාම වරදකරුවන් බවට තීරණය කර ඇති අතර, විනිසුරු විරාජ් වීරසූරිය සුළුතර මතය ලෙස ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි තීන්දුව ප්‍රකාශ කරමින් බහුතර විනිසුරුවරුන් සඳහන් කළේ, 2019 අප්‍රේල් 20 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයෙන් පාස්කු ඉරිදා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පැහැදිලි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වැළැක්වීමට කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බවය.
එම නොසැලකිල්ල හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 586 දෙනෙකු තුවාල ලැබූ බවත්, මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම දැරූ පොලිස්පතිවරයා ලෙස ඔහු තම රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇති බවත් අධිකරණය සඳහන් කළේය.
එමෙන්ම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 855න් 854කට ඔහු වරදකරු කරමින් බහුතර විනිසුරුවරුන් තීරණය කළහ.
තීන්දුවේ සඳහන් වූයේ, ප්‍රහාරයට පෙර දිනයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා විසින් එල්ල වීමට නියමිත ප්‍රහාරය පිළිබඳව ඔහුට දැනුම් දී තිබියදීත්, බුද්ධි අංශ රැස්වීමක් කැඳවීම, ත්‍රිවිධ හමුදාව සමඟ සම්බන්ධීකරණය කිරීම හෝ ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවය.
ඒ අනුව රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට ආධාර හා අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාම වරදකරුවන් බවට බහුතර විනිසුරුවරුන් තීරණය කළ අතර, ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.
කෙසේ වෙතත්, විනිසුරු විරාජ් වීරසූරිය සිය සුළුතර තීන්දුවෙන් සඳහන් කළේ, විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.
