පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බවට යෝජනාවක්!

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

ඔවුන් මේ බව අවධාරණය කළේ, පළාත් සභා මැතිවරණය පවත්න ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අදහස් පළ කරමිනි.

මෙම කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් ද සහභාගී සිටියහ.

එහිදී අදහස් පළ කරමින් එහි සභාපතිනිය අවධාරණය කර තිබුණේ, දාළ මැතිවරණ ක්‍රමවේදය සකස් කිරීමේදී එම ප්‍රතිපත්තිමය තීරණය සැලකිල්ලට ගත යුතු බවය.

ඒ අනුව මෙම යෝජිත මැතිවරණ ක්‍රමවේදය තුළ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීමේදී මතුවිය හැකි නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි රැස්වීමකදී නැවත සාකච්ඡා කිරීමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය සහ මැතිවරණ ප්‍රතිඵල නොවෙනස්ව පවත්වාගෙන යමින් කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ලදී.

Social Sharing
නවතම පුවත්