
අනුරාධපුර සිප්පුකුලම ප්රදේශයේ පදිංචි ටී. ඩී. එස්. කුමාරි මහත්මිය සිය 19 හැවිරිදි පුත්රයා පොලිස් අත්අඩංගුවේදී පහර කෑ බවට චෝදනා කරමින් සාධාරණ විමර්ශනයක් ඉල්ලා සිටී.
ඇය පවසන පරිදි, කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි සිය පුත්රයා වන යූ. එස්. නදුන් ගුණසේකර 2026 මාර්තු 20 වැනිදා පෙරවරු 9.30ට පමණ පියා සමඟ වඩු වැඩවල නිරතව සිටියදී කහටගස්දිගිලිය පොලිස් නිලධාරීන් විසින් රුපියල් 12,000ක මුදලක් අසල්වැසි නිවසකින් සොරකම් කළ බවට චෝදනා කර පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.
දෙමාපියන් එදින පෙරවරු 11.00ට පමණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට ගොස් බලන විට ඔහු පොලිස් සිර මැදිරියේ රඳවා සිටි බව සඳහන් වේ.
එදින පස්වරුවේ ආහාර රැගෙන යළි පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී, තම පුත්රයා හඬමින් සිටි අතර, පොලිස් නිලධාරියෙකු කොණ්ඩයෙන් ඇද පහර දී රුපියල් 12,000ක මුදල සොරකම් කළ බව පිළිගන්නා ලෙස තර්ජනය කළ බව ඔහු පැවසූ බව මව ප්රකාශ කරයි.
චෝදනාව පිළිගැනීම ප්රතික්ෂේප කිරීමෙන් අනතුරුව පසුදින ඔහු අන්සතු දේ සොරකම් කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කර ඇති අතර, දින 13කට පසු ඇප මත මුදාහැර ඇති බව සඳහන් වේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පැමිණිලි කළද ඒ පිළිබඳ කිසිදු ප්රතිචාරයක් හෝ ක්රියාමාර්ගයක් නොලැබුණු බව එම දෙමාපියන් පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටී.
