හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන ඇරඹේ!

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාළඹේ පොලිසිය එක්ව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ.

අද (17) උදෑසන මාළඹේ තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලැබූ සී.ඩී. වික්‍රමරත්න මහතා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව පොලිසිය සඳහන් කළේය. මීට පෙර පොලිසිය ප්‍රකාශ කළේ ඔහු නිවසේදී සියදිවි හානිකරගෙන ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර, මරණය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ, සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවය. වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද අද පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබුණි.

සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර, 1986 වසරේ පොලිස් සේවයට එක්විය. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ ඔහු, 2020 නොවැම්බර් 27 වැනිදා නිල පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

2023 මාර්තු මාසයේ විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණද, නව පොලිස්පතිවරයකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් සේවා දිගුවලට අනුව තවත් මාස කිහිපයක් එම ධුරයේ කටයුතු කළ අතර, අවසානයේ 2023 නොවැම්බර් 23 වැනිදා විශ්‍රාම ගියේය.

පොලිසිය පවසන්නේ මරණයට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල සහ විමර්ශනවලින් අනතුරුව වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇති බවයි.

Social Sharing
නවතම පුවත්