ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ වගවීම, විධිමත් අන්දමින් යුක්තිය පසිඳලීමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ රැඳවුම් භාරයේදී සිදුවන හිංසනයන් අවසන් කිරීමට සිවිල් සංවිධාන 10ක් ඉල්ලයි!

මීගමුව බන්ධනාගාරයේ 2026 ජූලි 5 සිට 7 දක්වා කාලය තුළ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් වගවීම, ස්වාධීන හා විශ්වාසනීය විමර්ශනයක් සහ ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පසිඳලීමේ හා බන්ධනාගාර පද්ධතියේ වහාම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සංවිධාන 10කින් සමන්විත එකමුතුවක් රජයෙන් ඉල්ලා සිටියි.

එම සංවිධාන නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක දැක්වෙන්නේ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් අතර බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුද සිටින බවයි. තවද පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද එහි සඳහන් වේ.

මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයට සහ ක්‍රමානුකූල වධහිංසාවලට ලක්වන බවට තහවුරු වූ තොරතුරු ලැබී ඇති බව එම ප්‍රකාශය පෙන්වා දෙයි.

එමෙන්ම බූස්ස සහ වැලිකඩ බන්ධනාගාර තුළ මරණ වාර්තා වී ඇති අතර, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට දැඩි ලෙස පහරදී ඇති බවත්, එහිදී ශාරීරික හිංසාවන්ට අදාළ අධිකරණ වෛද්‍ය සාක්ෂි විනාශ කිරීම සඳහා අපරාධ ස්ථාන පිරිසිදු කර සාක්ෂි වසන් කිරීමේ උත්සාහයන් පිළිබඳ චෝදනා මතුවී ඇති බවත් සිවිල් සංවිධාන එකමුතුව පවසයි.

රැඳවියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම රජයේ පූර්ණ වගකීමක් බව අවධාරණය කරන එම සංවිධාන, රැඳවුම් භාරයේදී සිදුවන වධහිංසාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය සහ 1994 අංක 22 දරන වධහිංසාවලට එරෙහි සම්මුති (CAT) පනත සෘජුවම උල්ලංඝනය කරන බව සඳහන් කරයි.

මෙම සිදුවීම් හුදකලා සිදුවීම් නොවන බව පෙන්වා දෙන එම ප්‍රකාශය, බන්ධනාගාර තදබදය, මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු සහ අපරාධ යුක්තිය පසිඳලීමේ පද්ධතියේ පවතින ව්‍යුහාත්මක දුර්වලතා මෙම අර්බුදයට මූලික හේතු බව පෙන්වා දෙයි.

එසේම, වස, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතේ 54 වැනි වගන්තිය අනිසි ලෙස භාවිත කරමින් ඇතැම් පොලිස් නිලධාරීන් විසින් ව්‍යාජ මත්ද්‍රව්‍ය නඩු ගොනු කිරීම සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ වෙනස් කර දැක්වීම හේතුවෙන් අහිංසක පුද්ගලයන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වන බවටද එම සංවිධාන චෝදනා කරයි.

මෙම තත්ත්වයට විසඳුම් ලෙස එම සංවිධාන යෝජනා කරන්නේ,

1. ක්ෂණික ආරක්ෂණ සහ වගවීමේ යාන්ත්‍රණ

වෛද්‍ය සහ අධිකරණ වෛද්‍ය මැදිහත්වීම: වෙනත් ස්ථාන වෙත යොමු කළ සියලුම රැඳවියන් සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වහාම ලබාදීමට රජය කටයුතු කළ යුතුය. එසේම, අධිකරණ වෛද්‍ය සාක්ෂි ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් වහාම අත්හිටුවීමට බල කළ යුතුය. “හදිසි රෝගාබාධ” හෝ “සියදිවි නසාගැනීම්” වැනි ගොතන ලද කථාන්දර අභියෝගයට ලක් කිරීම සඳහා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් විසින් ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යය වේ.

අධීක්ෂණය සහ විශේෂ ආරක්ෂාව: වෙනත් ස්ථාන වෙත මාරු කරන ලද රැඳවියන්, දැඩි අධිකරණ භාරය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන්ගේ වගවීම යටතේ ආරක්ෂිත පහසුකම් සහිත ස්ථාන වෙත ඇතුළත් කළ යුතුය. නීතියෙන් නියම කර ඇති පරිදි, සියලුම රැඳවුම් මධ්‍යස්ථාන සඳහා පැය 24 පුරා අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේ ස්ථිර සහ අසීමිත ප්‍රවේශයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) ලබා දිය යුතුය.

2. බන්ධනාගාර තදබදය තුරන් කිරීම සඳහා වූ ප්‍රායෝගික විසඳුම්

පොලිසිය විසින් ගොනු කරන ගොතන ලද නඩු විසඳීම: අසත්‍ය චෝදනාවලින් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා වහාම නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. ගොතන ලද චෝදනා ගොනු කර ඇති බවට හෝ මත්ද්‍රව්‍ය ප්‍රමාණ වෙනස් කර ඇති බවට ඔප්පු වන පොලිස් නිලධාරිවරුන්ට එරෙහිව දැඩි අපරාධමය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේම, ඔවුන් වහාම සේවයෙන් පහ කළ යුතුය. තවද, අධිකරණ ඇමතිවරයා ජුලි මස 7 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි “ශුද්ධ බර” වෙනුවට “දළ බර” (ග්‍රෑම් 100 ට අඩු) මත පදනම්ව ඇප ලබාදීමේ බලය මහාධිකරණය වෙත ආපසු ලබාදීම සඳහා මෑතකදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නීති සංශෝධන කඩිනම් කළ යුතුය.

නිවාස රඳවා තබා ගැනීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම: රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් වැරදිකරුවන් වී නොමැති අතර, ඔවුන්ට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය භුක්ති විඳීමට අවස්ථාව ලැබේ. පූර්ව නඩු විභාග රැඳවුම් සඳහා විකල්පයක් ලෙස “නිවාස රඳවා තබා ගැනීමේ” (Home Remand – House Arrest) රාමුවක් කඩිනමින් කෙටුම්පත් කර ක්‍රියාත්මක කරන ලෙස අපි දැඩිව ඉල්ලා සිටින්නෙමු. රැඳවුම් භාරයෙන් තොර දඬුවම් නියම කිරීම් කෙරෙහි වැඩි වශයෙන් යොමු වීම හරහා බන්ධනාගාර තදබදය වේගවත් ලෙස අවම කරගත හැකි වනු ඇත.

සහායක ආයතන නවීකරණය කිරීම: දැඩි කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තා ලබා ගැනීම සඳහා බොහෝ විට මාස හයකට වඩා වැඩි කාලයක් ගත වේ. මෙලෙස සිදුවන අධික ප්‍රමාදයන් හේතුවෙන් දහස් ගණනක් පුද්ගලයෝ අනවශ්‍ය ලෙස සිරගත වී සිටිති. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර පහසුකම් වහාම නවීකරණය කළ යුතුය. එසේම, කාර්ය මණ්ඩලය සම්පූර්ණ කළ යුතු අතර, මත්ද්‍රව්‍ය පරීක්ෂණ වේගවත් කිරීම සහ පහසුකම් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික උපකරණවලින් එම ආයතන සමන්විත කළ යුතුය.

වගවීමේ සැබෑ මිනුම් දණ්ඩ රඳා පවතින්නේ ප්‍රචණ්ඩත්වයට වගකිවයුත්තන් හඳුනාගැනීම මත පමණක් නොවේ. ඒ වෙනුවට, මෙම ඛේදවාචකයට හේතු වූ තත්ත්වයන් විසඳීම ද ඊට අදාළ වේ. විශ්වාසනීය විමර්ශනයක් සහතික කරන ලෙස අපි බලධාරිවරුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. එසේම, මෙම අර්බුදය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ පද්ධතිය තුළ අර්ථවත් සහ කල්පවතින ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා වූ උත්ප්‍රේරකයක් ලෙස සලකන මෙන් ද ඔවුන් ඉල්ලා ඇත.

එම නිවේදනය පහතින්

Statement of Prison Issue –

Social Sharing
නවතම පුවත්