උද්ධමනය 6.8% දක්වා ඉහළට!


ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව විසින් රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව, කාර්තුවක සාමාන්‍ය උද්ධමනය 5.0% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, එම අගය 3%-7% සීමාව තුළ රඳවා ගත යුතුයි.

උද්ධමනය 6.8% දක්වා ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ හේතුවෙන් සිදුව ඇති ප්‍රවාහන සේවා ගාස්තු, විදුලි ගාස්තු ආදියේ ඉහළ යාම වුවත්, පොදුවේ මිල ගණන් ඉහළ යාමද නොසලකා හැරිය නොහැකියි. පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල්, LP ගෑස් හා විදුලි ගාස්තු ඉහළ යාම 6.77%ක උද්ධමනයෙන් 2.93%කට දායක වී තිබෙනවා. මේ වන විට ඉන්ධන මිල ගණන් අඩු කර ඇති බැවින්, උද්ධමනය තව දුරටත් ඉහළ යාමේ අවදානමක් පෙනෙන්නට නැතත්, ඉදිරි මාසය තුළද 5% සීමාවෙන් ඉහළ රැඳී තිබිය හැකියි.

ඉකොනොමැට්ටා

Social Sharing
ආර්ථික පුවත්