ඩෙංගු අධිවසංගත තත්වයක්! මරණ 32 දක්වා ඉහළට.

මෙරට ඩෙංගු රෝගීන් 55,406ක් ඉක්මවා වාර්තා වී ඇති අතර එම රෝගය හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජූනි 30 දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී වෛද්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවූයේ, රට තුළ ඩෙංගු ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් පවතින අතර රෝහල් පද්ධතියද උපරිම ධාරිතාවයට ළඟා වී ඇති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සඳහන් කළේ, රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් සියලු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේදී බරපතළ ගැටලු මතුවිය හැකි අතර මරණ සංඛ්‍යාවද වැඩි වීමේ අවදානමක් පවතින බවයි. එබැවින් මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම සහ රෝග ලක්ෂණ ඇති වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම සම්බන්ධයෙන් මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර පැවසුවේ, මේ වසරේ මේ දක්වා ඩෙංගු හේතුවෙන් මියගිය පුද්ගලයින් 32 දෙනාගෙන් 25 දෙනෙකුම කාන්තාවන් බවයි.

ඇය සඳහන් කළේ, වයස අවුරුදු 19ට අඩු මරණ 5ක් වාර්තා වී ඇති අතර අනෙකුත් සියලුම මරණ වයස අවුරුදු 20 ඉක්මවූ පුද්ගලයින් අතරින් වාර්තා වී ඇති බවය. මේ වන විට සතියකට ඩෙංගු රෝගීන් 5,200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවද ඇය අනාවරණය කළාය.

විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පෙන්වා දුන්නේ, මැදිවියේ කාන්තාවන් අතර මරණ වැඩි වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වුවද ඊට නිශ්චිත හේතුවක් සනාථ කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බවයි. කෙසේ වෙතත්, පවුලේ වගකීම් හේතුවෙන් කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කරනවාද යන්න පිළිබඳ සැකයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

රට තුළ ඩෙංගු අධිවසංගත තත්ත්වයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලෙවිගේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි.

ඇය පැහැදිලි කළේ, ඩෙංගු වෛරසයේ ප්‍රභේද හතරෙන් (DENV-1, DENV-2, DENV-3 සහ DENV-4) මේ වන විට රෝහල්ගත කෙරෙන රෝගීන්ගෙන් සියයට 80කට පමණ DENV-2 ප්‍රභේදය ආසාදනය වී ඇති බවත්, 20%කට පමණ DENV-3 ප්‍රභේදය හඳුනාගෙන ඇති බවත්ය.

මහාචාර්ය නීලිකා මලෙවිගේ අවධාරණය කළේ, DENV-2 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ NS1 ඇන්ටිජන් පරීක්ෂණය නෙගටිව් ලෙස වාර්තා විය හැකි බවයි. ඒ අනුව NS1 පරීක්ෂණය නෙගටිව් වූ පමණින් ඩෙංගු නොමැති බවට නිගමනය කර වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද නොකරන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

අධිඅවදානම් දිස්ත්‍රික්ක 12ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය අනුව, වැඩිම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වලිනි. අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මාතර, ගාල්ල, රත්නපුර, මහනුවර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව සහ පුත්තලම හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.

රෝග ලක්ෂණ සහ වෛද්‍ය උපදෙස්

අධික උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, ඇඟපත හා කොන්දේ වේදනාව, වමනය සහ ඇතැම්විට පාචනය ඩෙංගු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් උණ ආරම්භ වී පැය 48ක් ඇතුළත Full Blood Count (FBC) පරීක්ෂණයක් සිදුකර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක හෝ ස්ටෙරොයිඩ් ඖෂධ භාවිත නොකළ යුතු බවත්, ප්‍රමාණවත් තරල (ජීවනී, කැඳ, තැඹිලි ආදිය) පානය කිරීම සහ ප්‍රමාණවත් විවේකයක් ගැනීම ඉතා වැදගත් වේ.

සෞඛ්‍ය විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කළේ, රෝග ලක්ෂණ මතු වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් බරපතළ සංකූලතා සහ මරණ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි.

BBC සිංහල හි පළවූ පුවතක් ඇසුරෙන් සැකසූවකි.

Social Sharing
නවතම පුවත්