
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ අවසන් භාගයේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු විනාශයන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු 2026 වසර තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වන බව 2027 වසර සඳහා මුදල් අමාත්‍යාංශය නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය වාර්තාවෙන් අනාවරණය කර ඇත.
වාර්තාවට අනුව, ආපදාවෙන් සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් 2026 වසරට රුපියල් බිලියන 500ක අතිරේක ප්රතිපාදනයක් අනුමත කර තිබුණද, පුනරුත්ථාපන වැඩසටහනේ විශාලත්වය හා සංකීර්ණත්වය හේතුවෙන් එම සියලු කටයුතු මේ වසර තුළ නිම කළ නොහැකි බව සඳහන් වේ.
එමෙන්ම, 2026 වසර සඳහා අනුමත කළ අතිරේක ප්රතිපාදනයෙන් භාවිතයට නොගත් මුදල් 2027 වසරට ගෙන යාම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ නීතිමය ප්රතිපාදනයක් නොමැති බවද වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව, ඉතිරිව ඇති ප්‍රතිසංස්කරණ හා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය 2026 වසර අවසානයේ සිදුකරන තක්සේරුවකින් පසුව තීරණය කිරීමට නියමිත බව සඳහන් වේ.
එම අවශ්‍යතා අතරින් කොටසක් 2027 වසර සඳහා අනුමත ප්‍රාථමික වියදම් සීමාව තුළ කළමනාකරණය කළ හැකි වුවද, ඉතිරි කටයුතු සඳහා අතිරේක අයවැය ප්‍රතිපාදන අවශ්‍ය විය හැකි බවත්, එම ප්‍රමාණය සහ අවශ්‍ය වන කාලය මේ වන විට නිශ්චිතව තීරණය කර නොමැති බවත් වාර්තාවේ දැක්වේ.
එසේම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව, 2026 වසරේ ආරම්භ කළ දිගුකාලීන ප්‍රතිසංස්කරණ හා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය වියදම් පමණක් ආවරණය වන පරිදි 2027 වසරේදී පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට හැකි බවද මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
