වධහිංසාවට එරෙහිව හඬ නඟමු! -තරංග එල්. පටබැඳි

සෑම වසරකම ජූනි මස 26 වැනිදාට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මිනිස් සංහතියේ පොදු හෘද සාක්ෂිය අවදි කරමින්, අමානුෂික සහ කෲර වධහිංසනයන්ට ලක්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට ලෝක ප්‍රජාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද වධ හිංසාවට ලක් නොවී සිටීමේ අයිතිය නිරපේක්ෂ අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ. මෙයින් අදහස් වන්නේ රටක යුද සමයකදී, හදිසි නීති තත්ත්වයකදී හෝ දේශපාලන අස්ථාවරත්වයක් පවතින අවස්ථාවකදී පවා කිසිදු පුද්ගලයෙකු වධහිංසනයට ලක් කිරීමට කිසිදු පාර්ශ්වයකට නීතිමය අවසරයක් නොමැති බවයි.

කෙසේ වෙතත් වර්තමාන සමාජය තුළ ද විවිධ මට්ටමින් ශාරීරික හා මානසික වධහිංසනයන් සිදුවන අතර, වධහිංසාව යනු තාවකාලික ශාරීරික තුවාලයක් පමණක් නොව පුද්ගලයෙකුගේ සමස්ත ආත්මගරුත්වය සහ ජීවත්වීමේ බලාපොරොත්තුව මුළුමනින්ම සුන් කර දමන බරපතල සමාජ අපරාධයකි.

බලපුළුවන්කාරකම් සහ අසාධාරණයන් හමුවේ අසරණ වන පීඩිත ජනතාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරයා ලෙස මා සහ මගේ ආයතනය නිරන්තරයෙන් පෙනී සිටින්නේ මෙවැනි පසුබිමක ය. වර්ෂ 2006 දී ආරම්භ කරන ලද අප ආයතනය එදා සිටම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කර ඇති අතර, 2018 වර්ෂයේ සිට “මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය” යන නාමයෙන් අඛණ්ඩව ජනතා සේවයේ නියැලී සිටියි. වධහිංසාවට සහ අසාධාරණයට ලක්වන පුරවැසියන්ට නොමිලේ නීති උපදෙස් නීති ආධාර ලබාදීම, මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ද අප මධ්‍යස්ථානය විසින් සමස්ත සමාජයේම යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබයි. බියෙන් සහ සැකයෙන් තොරව සෑම පුරවැසියෙකුටම තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳිමින් නිදහසේ ජීවත් විය හැකි ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම අපගේ මූලික අරමුණ වී තිබේ.

මෙම ජාත්‍යන්තර වධහිංසා දිනය නිමිත්තෙන් මා විශේෂයෙන්ම සඳහන් කරන්නේ, මේ වන විට වධහිංසාවට පාත්‍ර වූවන් වෙනුවෙන් අප මව් ආයතනය වූ රයිට් ටු ලයිෆ් ආයතනයේ මග පෙන්වීම හා මුල්‍ය දායකත්වය මත මූලික අයිතිවාසිකම් නඩු 09 ක් අප මධ්‍යස්ථානය මැදිහත් වී පවරා ඇති බවයි. ඒ අතරින් එක් නඩුවක් මේ වන විටත් සාර්ථකව ජයග්‍රහණය කර අගතියට පත් පාර්ශ්වයට වන්දි ලබා දීමට ද අප කටයුතු කර තිබේ. විශේෂයෙන්ම ගුරුවරුන් විසින් ළමුන්ට පහර දී බරපතල හානි සිදු කිරීමට එරෙහිව මෙන්ම, නීතිඥ වෘත්තියේ ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියා කිරීමට එරෙහිව ද අප මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත මෙලෙස නීතිමය පියවර ගෙන ඇත. ඊට අමතරව මානව හිමිකම් කඩවූවන් වෙත අවශ්‍ය නීති ආධාර අඛණ්ඩව ලබා දීම ද අප හරහා සක්‍රියව සිදු කෙරේ.

වධහිංසාව පිටුදැකිය හැක්කේ නීති පොත්වලින් පමණක් නොව, ඒ සඳහා සමස්ත සමාජයේම ආකල්පමය වෙනසක් සහ සාමූහික මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වන බව සම්බන්ධීකාරකවරයා ලෙස මා වැඩිදුරටත් පෙන්වා දෙමි. කිසිදු තරාතිරමකට හෝ බලයකට තවත් මිනිසෙකුගේ ශරීරයට හෝ ආත්මයට හානි කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. අසාධාරණය හමුවේ පවතින නිහඬතාවය යනු වැරදිකරුවන්ට තව තවත් වැරදි කිරීමට ලැබෙන වක්‍ර අනුබලයකි.

එබැවින් යමෙකු මෙවැනි කෲර සැලකිල්ලකට හෝ මානව හිමිකම් කඩවීමකට ලක්ව ඇත්නම්, නිහඬව නොසිට ඊට එරෙහිව හඬ නැඟීමට පෙරමුණ ගත යුතුය.

මෙවැනි අසාධාරණයන් සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සහය ලබා ගැනීමට අවශ්‍ය නම්, අපගේ හදිසි ඇමතුම් අංකය වන 076 969 2424 ඇමතීමෙන් අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබාගත හැකිය. මිනිස් දයාව පෙරදැරි කරගත්, නීතියේ ආධිපත්‍යය ගරු කරන සහ වධහිංසාවෙන් තොර නිදහස් සමාජයක් ගොඩනැඟීම උදෙසා සියලු දෙනා අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇත

Social Sharing
නවතම පුවත්