අනුරාධපුර 15 හැවිරිදි දැරියගේ අපයෝජන නඩුව ඉදිරි විමර්ශන සඳහා අගෝස්තු 21 දක්වා කල් තැබේ.

අද (26) දින 15 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට අදාළ නඩුව විභාගයට ගැණිනි.

මේ සම්බන්ධයෙන් නීතිඥ දනුෂ්ක ද සිල්වා මහතා පවසා සිටියේ අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පල්ලේගම හේමරතන හිමියන්ට අදාළව නඩු අංක 22 424/2026 යටතේ විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව කැඳවා තිබුණ බවයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් මණ්ඩලයක් පෙනී සිටි අතර, චූදිත පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ  කාලිංග ඉන්දතිස්ස හා ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පෙනී සිට ඇත. තවද පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද අද දින පැමිණිනි බව ඔහු සඳහන් කර සිටියි. එහිදී, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර කෙරෙහි අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බවකි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් වාර්තා හා ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දී ඇති අතර, ඒ සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස ද ඉල්ලා ඇත.

එමෙන්ම, අද දින මෙම සිද්ධියට අදාළ දරුවාගේ DNA වාර්තාව මේ වන විට ලැබී ඇති අතර එම වාර්තාවේ පිටපත්  ලබා ගැනීම සඳහා නීතිඥවරුන් ඉල්ලා සිට ඇති අතර එම වාර්තා ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුවේ මීළඟ විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා 2026 අගෝස්තු 21 දිනට නඩුව කල් තැබීමට අධිකරණය නියෝග කර ඇති බව ද නීතිඥ දනුෂ්ක ද සිල්වා මහතා පවසා සිටියේය.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාගවන අතරතුරයේ දී අනුරාධපුර සහ කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමඟ නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානය මෙන්ම ගැමි කාන්තා පෙරමුණ එක්ව අනුරාධපුර අධිකරණ සංකීරණය ඉදිරිපිට දී අපයෝජනයට පත් වින්දිත දැරියට යුක්තිය ඉල්ලා විරෝධතාවයක් දියත් කළේය.

Social Sharing
නවතම පුවත්