
එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව (SPT) සිය නව දින ශ්‍රී ලංකා සංචාරයේදී සිදුකළ නිරීක්ෂණ මත පදනම් වූ රහස්‍ය මූලික සොයාගැනීම් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය ජූනි 15 වැනිදා ආරම්භ වූ මෙම සංචාරය ලබන බදාදා අවසන් වීමට නියමිතය.
සිව් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස 2019 වසරේ සිදුකළ අවසන් සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඇගයීමේ අරමුණින් පොලිස් ස්ථාන, බන්ධනාගාර සහ නිදහස අහිමි කර ඇති පුද්ගලයන් රඳවා තබන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම රජයේ උසස් නිලධාරීන් සමඟද සාකච්ඡා පවත්වා ඇත.
මෙම සතියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති ප්‍රධාන සාකච්ඡාවකට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සහභාගි වී තිබේ.
එහිදී වධහිංසා සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව එක්සත් ජාතීන්ගේ දූත පිරිස විමසීම් සිදුකර ඇති අතර, 2024 අගභාගයේදී නව රජය බලයට පත්වීමෙන් පසු රැඳවියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කිරීම් සිදුකර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, වධහිංසාවට සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හා දඬුවම්වලට එරෙහි සම්මුතියේ අත්‍යවශ්‍ය ප්‍රොටොකෝලය (OPCAT) යටතේ, අනුකමිටුව සිය රහස්‍ය මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා රජයට සහ ජාතික වැළැක්වීමේ යාන්ත්රණයට ඉදිරිපත් කරන බවයි.
ඉන් අනතුරුව, සංචාරයේ සොයාගැනීම් සහ නිර්දේශ ඇතුළත් සම්පූර්ණ රහස්‍ය වාර්තාවක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිතය. OPCAT රාමුවට අනුව, ශ්‍රී ලංකා රජය එය ප්‍රසිද්ධ කිරීමට එකඟ වන තෙක් එම වාර්තාව රහස්‍ය ලේඛනයක් ලෙස පවතිනු ඇත. 2019 වසරේ සිදුකළ පෙර සංචාරයෙන් අනතුරුව සකස් කළ වාර්තාවද මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.
ශ්‍රී ලංකාව 2017 වසරේදී OPCAT සම්මුතියට අනුමැතිය ලබාදී ඇති අතර, එමඟින් අනුකමිටුවට පූර්ව දැනුම්දීමකින් තොරව රඳවා තබන ස්ථාන වෙත පිවිසී නිරීක්ෂණ සිදුකිරීමේ බලය හිමි වේ.
මෙවර දූත පිරිසට ප්‍රධානත්වය දරන්නේ මාලදිවයිනේ අයිෂා ෂුජූන් මුහම්මද් වන අතර, පෝලන්තයේ ජාකොබ් ජූලියන් සෙපෙක්, ජෝර්ජියාවේ නිකා ක්වාරත්ස්කෙලියා, ක්‍රොඒෂියාවේ අනීකා ටොම්සික් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ද එම කණ්ඩායමට ඇතුළත් වේ.
