
ආසියානු කලාපයේ සමාජ සේවා වටපිටාව ඇගයීමට ලක් කරන ආසියානු පරිත්‍යාගශීලීත්වය හා සමාජය සඳහා වූ මධ්‍යස්ථානය (CAPS) විසින් නිකුත් කළ නවතම Doing Good Index (DGI) 2026 වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ සිවිල් සමාජ ක්ෂේත්රය මතුපිටින් ස්ථාවර බවක් පෙන්නුම් කළද, ඇතුළතින් බරපතළ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව අනාවරණය වී තිබේ.
වාර්තාව පෙන්වා දෙන්නේ, 2022-24 කාලසීමාවට සාපේක්ෂව සිවිල් සංවිධාන කෙරෙහි සමාජයේ විශ්වාසය 8% කින්, රජයේ විශ්වාසය 12% කින් සහ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය 9% කින් පහළ ගොස් ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මූල්‍ය ආධාර සහ ප්‍රතිපාදන ද සැලකිය යුතු ලෙස අඩුවී ඇත.
එමෙන්ම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් හරහා සිවිල් සංවිධාන වෙත ව්‍යාපෘති සඳහා ලැබෙන අවස්ථා 5% කින් අඩුවී ඇති අතර, සංකීර්ණ නීතිමය රෙගුලාසි තේරුම් ගැනීමේ සහ ඒවාට අනුගත වීමේ හැකියාව ද 9% කින් පහළ වැටී ඇති බව වාර්තාව සඳහන් කරයි.
නව සංවිධාන ලියාපදිංචි කිරීමේදී පවතින නිලධාරීවාදී බාධා සහ ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ ප්‍රජා මූලික ව්‍යාපෘති ආරම්භක අදියරේදීම අඩාල වන බව ද පෙන්වා දී ඇත. ආර්ථික අර්බුදය සහ ක්ෂේත්රයේ අස්ථාවරත්වය හේතුවෙන් පූර්ණකාලීන වෘත්තීය මට්ටමේ සේවකයන් බඳවා ගැනීමේ හැකියාව 12% කින් පහත වැටී ඇති බව ද වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත්, ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියක නිරත ශ්‍රී ලංකාව තුළ පීඩිත හා අවදානමට ලක් වූ ජන කණ්ඩායම් වෙත සේවා සැපයීමේදී සිවිල් සංවිධාන සතු කාර්යභාරය තවදුරටත් අත්‍යවශ්‍ය බව CAPS වාර්තාව අවධාරණය කරයි.
එබැවින්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සිවිල් සංවිධාන අතර වඩාත් සමීප සහයෝගීතාවයක් ගොඩනඟා, නීතිමය සහ පරිපාලන බාධා අවම කරමින්, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතු සිවිල් සමාජ පරිසරයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයක් බව වාර්තාවෙන් අවධාරණය කර ඇත.
Leader.lk පළ වූ කරුණු පදනම් කොටගෙන සකස් කරන ලදී
