
රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාට වධහිංසා සහ අමානුෂික සැලකිලි සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අද (16) දිනයේදී ද සිදුකරන බවයි.
සුරේෂ් සලේ මහතාගේ ඥාතීන් විසින් පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහු රැඳවුම් භාරයේ සිටියදී විවිධ ආකාරයේ වධහිංසාවන්ට සහ අමානුෂික සැලකිලිවලට ලක්ව ඇති බවට චෝදනා කර තිබුණි.
ඒ අනුව කොමිෂන් සභාව විසින් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී සිරමැදිරිය තුළ ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති වීම ඇතුළු මූලික පහසුකම් සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.
එම නිරීක්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් දැනුවත් කිරීමටද මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
විමර්ශන කටයුතු යටතේ සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය ආසන්නයේ සිටි අනෙකුත් රැඳවූවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, CID නිලධාරීන්ගෙන් ද තොරතුරු ලබාගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතාට ලබාදෙන වෛද්‍ය පහසුකම් සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද කොමිෂන් සභාව අවධානය යොමු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවලින් තොරතුරු රැස් කරමින් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
